අලි ගම්වලට එනවද ? අලින්ගේ වාසස්ථාන වලට මිනිස්සු යනවද ?

ගෙදර ඔප්පුවයි, කනකර බඩු ටිකයි උකස් කරලා පටන් ගත්තු ගොවිතැන කොයි වෙලාවේ අලි රංචුව ඇවිත් විනාශ කරයිද කියලා බයෙන් ඉන්න අහිංසක මනුස්සයෙක් ගැන හිතන්න.     

කර්කෂ පොළොවේ, කුසගින්නට අහරක් නැතිව පිපාසාවට බොන්න වතුර පොදක් නැතිව කොයි වෙලේ වෙඩි පහරක් වදීවීදෝ බියෙන් ගමට එන වයසක අලියෙක් ගැන හිතන්න.

 "උදේ පාන්දර තාත්තත් එක්ක ඉස්කෝලෙට යන්න ගිය පුතාට අතර මඟදි අලියෙක් ගහලා"

 "අනේ! අලි අම්මයි, පැටියයි දෙන්නම ළිදේ වැටිලා මැරිලා..”

මිනිස්සු අලි මරන්නෙත්, අලි මිනිස්සු මරන්නෙත් තරහවකට හෝ වෛරයකට නෙවෙයි. මේ දෙපිරිසටම ඕන ජීවත් වෙන්න. දෙපාර්ශවයේම අවශ්‍යතා සම්පූර්ණ කර ගන්න. ඒත් කොහොමද?

මේ පසුගිය දින වලදී අලි සම්පත සුරැකීම වෙනුවෙන් FaceBook සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ අදහස් කිහිපයක්.  වර්තමානය වන විට මෙලෙස අප එදිනෙදා භාවිතා කරන්නාවූ බොහෝ සන්නිවේදන මාධ්‍ය හරහා නිරන්තර අවධානය යොමු වන පැතිකඩකි අලි-මිනිස් ගැටුම. ඈත අතීතයේ සිටම එකම පරිසර පද්ධතියක වෙසෙමින් තම අවශ්‍යතා සාමුහිකව තෘප්ත කර ගත් අප දෙපිරිසට වර්තමානය වන විට එම තත්ත්වය තව දුරටත් රඳවා පවත්වා ගැනීමට අපොහොසත් වීම දෙපාර්ශවය අතර ගැටුමක් දක්වා වර්ධනය වීමට හේතුවක් වී ඇත. මෙහි උච්ඡතම අවස්ථාව වන්නේ මෙම ගැටුම හේතුවෙන් දෙපාර්ශවයේම ඉතා විශාල වශයෙන් සිදුවන ජීවිත හානියයි. ශ්‍රී ලංකා වන ජීවි දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව දළ වශයෙන් ගත් කළ වාර්ෂිකව අලි මරණ 272ක් වාර්තා වන අතර ඊට සාපේක්ෂව වාර්ෂිකව අලින් නිසා සිදුවන පුද්ගල මරණ සංඛ්‍යාව 71ත් 85ත් අතර ප්‍රමාණයක් ගනී (Department of Wildlife Conservation 2009,2010). තවද සංඛ්‍යා ලේඛන අනුව පොළොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, දකුණ, වයඹ, ඌව යන වනජීවි කලාප වල ඉහළ මිනිස් මරණ ප්‍රතිශතයකුත් පොළොන්නරුව, නැගෙනහිර, අනුරාධපුර, ත්‍රිකුණාමලය, දකුණ, ඌව, වයඹ, වව්නියාව යන යන වනජීවි කලාප වල ඉහළ අලි මරණ ප්‍රතිශතයකුත් වාර්තා වේ. තවද කණගාටුවට කරුණක් වන්නේ අලි මරණ සිදු වන රටවල් අතර ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම පසුවීමයි. මෙලෙස සීඝ්‍ර ලෙස ඉහළ යන අලි මරණ නිසා අලි සම්පත ලොවට අහිමි වීමේ අවදානමක්ද පැන නැඟී ඇත. මීට හොඳම උදාහරණය වන්නේ මීට සියවසකට පෙර දක්නට ලැබුණු අලි උප විශේෂ පහ අතුරින් දැනට දක්නට ලැබෙන්නේ උප විශේෂ දෙකක් වීමයි (Deraniyagala,1955).

වසර 2000කට වඩා වූ ඈත අතීතයේ සිට අලියා හා මිනිසා අතර ඇති සබඳතාවය විවිධ කේෂත්‍ර ගණනාවක් ඔස්සේ දිවයන්නකි. පාරිසරික, සාමාජීය, සංස්කෘතික, ආගමික වශයෙන් ශ්‍රී ලංකාව තුළ අලියාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. පසුගිය දශක කිහිපය පුරා ශ්‍රී ලංකාව තුළ සංචාරක ආකර්ෂණය දිනාගැනීමේ ප්‍රමුඛතාවය අලි සම්පතට හිමිව ඇත. මුළු මහත් ආසියාව තුළ ඔවුන්ගේ ස්වාභාවික පරිසරය  තුළම ජීවත්වන අලි ගහණය 51,000ක් 66,000 ත් අතර ප්‍රමාණයක් ගනී (Thennakoon.,2017) ඉන් සැළකිය යුතු අලි ප්‍රතිශතයක වාසස්ථානය වන්නේ ශ්‍රී ලංකාවයි. වර්තමානය වන විට ලොව පුරා ව්‍යාප්තව ඇති අලි විශේෂ තුනක් හඳුනාගෙන ඇත.

 

වගුව 01. ලොව පුරා ව්‍යාප්තව ඇති අලි විශේෂ

විශේෂය

විද්‍යාත්මක නාමය

ව්‍යාප්තිය

African bush Elephant

Loxodonta africana

අප්‍රිකානු රටවල් ආශ්‍රිතව ඇති සැවානා, තෘණ බිම් හා වනාන්තර ආශ්‍රිතව

African forest Elephant

Loxodonta cyclotis

බටහිර අප්‍රිකාවේ සහ කොංගෝ ද්‍රෝණියේ තෙත් වනාන්තර ආශ්‍රිතව

Asian Elephant

Elephas maximus

ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, සුමාත්‍රා දූපත් හා බෝර්නියෝ දූපත් ආශ්‍රිතව

 

මේ අතරින් අප කතා බහට ලක් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව තුළ වෙසෙන ආසියාතික අලියායි (Elephas maximus). ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් උඩ වලව ජාතික වනෝද්‍යානය , යාල ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, මින්නේරිය ජාතික වනෝද්‍යානය ආදී වූ  ජාතික වනෝද්‍යානයන් හා අනෙකුත් රක්ෂිතද, අලි සුරක්ෂිතාගාර හා අලි අනාථාගාර තුළද අලීන් දැකගත හැක. එමෙන්ම ලෝක සංරක්ෂණ සංගමය සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂවල ජාත්‍යාන්තර වෙළඳාම සඳහා වූ සම්මුතියෙහි (IUCN) රතු දත්ත ලයිස්තුවට වඳවීමේ තර්ජනයට (Endangered) මුහුණ පා ඇති විශේෂයක් ලෙස ද ඇතුළත් කර ඇත. ගොඩ බිම වෙසෙන විශාලම ක්ෂීරපායි සත්ත්වයා ලෙස හඳුන්වන අලියා මහා පරිමාණයේ ශාක භක්ෂකයෙක් ලෙස හඳුනා ගැනේ. දළ වශයෙන් 2,000-5,500 kg ත් අතර හොඳින් වැඩුණු සත්ත්වයෙකුගේ දෛනික ශාක පරිභෝජනය 150 kg ක් පමණ වේ (Nakandala et al.,2014) .මෙම අවශ්‍යතාව තමන් වෙසෙන පරිසරයෙන් තෘප්ත කර ගැනීමට සමත් නොවීම මත අලින් ගම් වැදීම හෙවත් කෘෂි කාර්මික පෙදෙස් ආක්‍රමණය කිරීමට පෙළඹීම සුලබ කරුණකි. තවද සත්ත්ව ලෝකයේ විශාල සංක්‍රමණික සත්ත්ව විශේෂයක් ලෙස හඳුනා ගැනෙන අලියා වාර්ෂිකව වර්ග කි.මී. 150-350 ත් අතර භූමි ප්‍රදේශයක සැරිසරයි. මෙලෙස තම ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කෘෂි කාර්මික පෙදෙස් ආක්‍රමණය කරන අලින්ගෙන් දැඩිලෙස හානි සිදුවන වගාවන් ලෙස වී, උක්, බඩ ඉරිඟු, වට්ටක්කා, කෙසෙල්, පොල්, පැපොල් හැඳින්විය හැක. මෙහිදී ගොවින් මුහූණ දෙන ගැටළු ලෙස,

  • කෘෂි භෝග පැළ අවධියේම අලින් විසින් පරිභෝජනය කිරීමට අමතරව අලින්ට පෑගීමෙන්ද විනාශ වීම (ඡායාරූපය 1)
  • විශාල ප්‍රමාණයේ ගස් උදුරා දැමීම නිසා කේෂත්‍රයේ අනෙකුත් හෝග වලට පවා හානි සිදුවීම.
  • ගස් මුළුමනින්ම විනාශ කිරීම. උදා. පොල්, කෙසෙල් (ඡායාරූපය 2)
  • කෘෂි භෝග වලට අමතරව වගා කේෂත්‍රයේ බිම් සකස් කිරීම් වලට හා ජල සැපයුම් පද්ධතීන් වලට හානි සිදුකිරීම.
  • අස්වනු ගබඩා වලට කඩා වැදී අස්වනු පරිභෝජනය කිරීම. එක විට කේෂත්‍රයේ විශාල ප්‍රදේශයකට හානි සිදු කිරීම.යන හානි හඳුනා ගැනේ.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (1) කුඹුරක ඇති අලි පා සටහන්
(මූලාශ්‍රය: https://www.researchgate.net)
  ඡායාරූපය (2) අලින් විසින් හානිකර ඇති වට්ටක්කා වගාවක්
(ඡායාරූපlrKh: මහාචාර්ය කේ. බී. රණවන )

 

මෙලස අලින් ගම් වැදීමට හෙවත් අලින් විසින් කෘෂිකාර්මික කේෂත්‍ර ආක්‍රමණය කිරීමට හේතු පහත පරිදි අවධාරණය කොට ඇත.

  • වාසස්ථාන අහිමි වීම.
  • ප්‍රමාණවත් ආහාර පාන තම වාසස්ථාන ඇසුරින් සපයා ගැනිමට අපහසු වීම.
  • ප්‍රමාණවත් හා තමන්ට රුචි ආහාර සපයා ගැනීමේ පහසුම මාර්ගය වීම.
  • අලි මංකඩවල් අවහිර වන ලෙස සිදුවන අවධිමත් සංවර්ධන ව්‍යාපෘති.
  • අවධිමත් කැළි කසළ බැහැර කිරීම් (ඡායාරූපය 3)

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය ( 3): කැලි කසළ ආහාරයට ගැනීමට පැමිණ ඇති අලි රංචුවක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)
  ඡායාරූපය ( 4) : සංචාරක රථයක් මඟින් අලින්ට ආහාර ලබාදෙන අවස්ථාවක්
(මූලාශ්‍රය: http://www.dailynews.lk)

 

මීට අමතරව මිනිසුන් විසින් ආහාර ලබා දීම නිසා පුරුදු වූ සාමාන්‍ය ව්‍යවහාරයේ  "කප්පම් අලි" ලෙස හඳුන්වන අලින් ඇතිවීමද අලින් ගම් වැදීමට හේතු වී ඇත (ඡායාරූපය 4). ඉහත කරුණු සැළකීමේදී පෙනී යන්නේ මෙම බොහෝ කරුණු මිනිසාගේ අත්තනෝමතික ක්‍රියා නිසාම සිදු වී ඇති බවයි. මහා පරිමාණයෙන් සිදුවන සංවර්ධන ක්‍රියාවන් නිසා ඉතා විශාල වශයෙන් සිදුවන වනාන්තර එළි පෙහෙළි කිරීම් (Deforestation) වලදී එම පරිසර පද්ධතියේ ජීවත්ව සිටි අලි, මිනිසා විසින් ආධිපත්‍ය දරන භූමි ප්‍රදේශ වල කුඩා ප්‍රමාණයේ වනාන්තර කුට්ටි වලට සීමා වීමට සිදුවේ. එවිට ආහාර සඳහා එකිනෙකා අතර ඇති වන්නාවූ  තරඟය නිසාම අලි ගහණයේ කිහිප දෙනෙකුට හෝ අලි රංචුවටම වෙනත් ආහාර බිම් සොයා යෑමට සිදුව එමෙන්ම එලෙස පැමිණෙන අලි ඇතුන් පලවා හැරීම සඳහා මිනිසා විසින් ගනු ලබන ක්‍රියා මාර්ග මත අලි -මිනිස් ගැටුම නිර්මාණය වීම සිදුවේ.

මෙලෙස ඇති වන්නාවූ  අලි -මිනිස් ගැටුම නිසා සිදුවන්නාවූ හානි ප්‍රධාන වශයෙන්

  • වගා හානි
  • දේපල හානි (ඡායාරූපය 5)
  • ජීවිත හානි ලෙස වර්|ග කර දැක්විය හැක.

1 elephant 01

ඡායාරූපය (5) : අලි ප්‍රහාරයකට ලක්වූ නිවෙසක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)

 

අප දෙපිරිසේම  පාරිසරික අවශ්‍යතා සමාන වීම හා විශේෂ දෙකම එකම ප්‍රදේශයක ජීවත් වන විට මෙම දෙපාර්ශවය අතර ගැටුම් ඇති වීම නොවැළැක්විය හැකි හේතුවක් වී තිබේ. එම නිසා මෙම ගැටුම් වැළැක්වීමට හා අවම කිරීමට විවිධ ක්‍රියා මාර්ග ගනු ලබන අතර ඉන් ප්‍රධාන වශයෙන් සිදු කරනනේ අලින් ගම්වැදිම පාලනය කිරීමට කටයුතු කිරීමයි.

මේ අනුව දැනට ලංකාව තුළ වනජීවි සංරක්ෂණ මූලධර්ම අනුව අලින් ගම්වැදිම පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග ලෙස පහත ක්‍රියා මාර්ග ගනු ලැබේ.

  • රක්ෂිත වටා විදුලි වැට ඉදිකිරීම

දැනට අප රට තුළ වැඩි වශයෙන් ක්‍රියාත්මක වන්නකි. මෙහිදී සිදු වන්නේ 5000 v පමණ වෝල්ටීයතාවයක් 1/3000s ක තරම් කෙටි කාලයක් නිකුත් කර අලියාට යම් කම්පනයක් ලබා දීමයි (ඡායාරූපය 6). මෙමඟින් සිදු වන්නේ අලියාට මානසිකව බාධකයක් පමුණුවීමයි (Psychological barrier). එවිට අලියා පෙර ලැබුණු අත්දැකීම් මත එම අලි වැට පසුකිරීමට පසුගාමී වේ. නමුත් මෙම අලි වැට නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් එහි

නඩත්තු කටයුතු නිසිපරිදි සිදුකළ යුතුයි. නැතහොත් සිදුවන්නේ අලි වැටේ දුර්වල ස්ථානයන් හරහා හෝ වැට කඩා බිඳ දමා හෝ අලියා මිනිස් වාසස්ථානයට ඇතුල් වීමයි. විශාල දැව කඳන් අලි වැට මතට දැමීම හා කකුලෙන් පාඟා අලි වැට කඩා බිඳ දැමීමට තරම් මෙම සතුන් බුද්ධිමත්ය (ඡායාරූපය 7). එමෙන්ම දළ ඇතුන්ගේ දළ යුගල විද්‍යුත් පරිවාරකයක් ලෙස ක්‍රියා කිරීම නිසා  අලි වැට දළ ඇතුන් පලවා හරින්නට එතරම් සාර්ථක ක්‍රමයක් නොවේ. මේ නිසා අලි වැට අද වන විට අකාර්යක්ෂම අලි පාලන ක්‍රම වේදයක් බවට පත්ව තිබේ .මීට අමතරව අප්‍රිකාව වැනි රටවල විශාල ප්‍රමාණයේ දැව කඳන් (ඡායාරූපය 8) හා ගල්  යොදාගෙන ඉදිකර ඇති වැටවල් (Log fences & Stone fences) හා වානේ කේබල් හා යකඩ පොලු යොදාගෙන සකස් කර ඇති   කම්බි වැටවල් (Wire fences)දක්නට ලැබෙන අතර  ලංකාව තුළ අවශ්‍ය හා ප්‍රමාණවත් සම්පත් නොමැතිකම නිසා එවැනි වැටවල් ඉඳිකිරීමක් දක්නට නොලැබේ.

 

1 elephant 01   1 elephant 01 1 elephant 01
ඡායාරූපය (6) : රක්ෂිතයක් වටා ඉදිකර ඇති අලි වැටක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)
  ඡායාරූපය (7) : අලි වැට කඩා බිඳ දැමීමට උත්සහ කරන අලියෙක්
(මූලාශ්‍රය: https://akm-img-a> in.tosshub.com)
ඡායාරූපය (8) : දැව කඳන් යොදා සකස් කරන ලද අලි වැටක්
(මූලාශ්‍රය: https://akm-img-a> in.tosshub.com)

 

  • අලින්ගේ වාසස්ථාන සුපෝෂණය කිරීම

මෙහිදී සිදු වන්නේ අලින් වෙසෙන පරිසර පද්ධතිය තුළම ඔවුන්ගේ පැවැත්මට අවශ්‍ය තත්ත්ව (උදා: ආහාර,ජලය, සෞඛ්‍යය පහසුකම්) සපයා දීමයි. අලින්ගේ ප්‍රියතම තෘණ විශේෂයක් වන “Beru” (Hygroryza aristata)වැව් අශ්‍රිතව වගා කිරීම මීට නිදසුනකි. මේ මඟින් තමන් වෙසෙන පරිසරය තුළින්ම අවශ්‍යතා තෘප්ත කර කරගැනීමට ඇති හැකියාව නිසා අලින් කෘෂි කේෂත්‍ර හෝ ගම් වලට පැමිණිම සිදු නොවේ. නමුත් අධික වියදම් සහිත වීම හා නිසි පහසුකම් නොමැති වීම, අවශ්‍ය දැනුම අවම වීම මත මෙය ක්‍රියාත්මක කිරීමට අපහසු අලි පාලන ක්‍රමවේදයක් වී තිබේ.

  • අලි කළමණාකරණ රක්ෂිත ප්‍රකාශයට පත්කිරීම

උඩවලව, ලුණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කර ගනිමින් අලි ඇතුන්ගේ සංක්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි-මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප්‍රදේශ ජාල ගත කිරීමට යෝජනා කල හම්බන්තොට අලි කළමනාකරණ මධ්‍යස්ථානය මීට නිදසුනකි. 2009- 2011 වර්ෂ වලදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන හා ප්‍රදේශ වාසීන් එක්ව සංවිධානය  කල   “ගජ මිතුරෝ” වැඩසටහන මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කල නමුත් අද වන විට එහිද යම් යම් ගැටළුකාරී තත්ත්වයන් ඇති වී ඇති බව වාර්තා වේ.

  • රක්ෂිත එකිනෙක යා කරන අලිමංකඩ නැවත ප්‍රතිස්ථාපනය කිරීම

අද වන විට ක්‍රියාත්මක වන අවිධිමත් හා මහා පරිමාණයේ සංවර්ධන ක්‍රියාවන් නිසා අලින් රක්ෂිත හරහා මාරු වන අලිමංකඩවල් බොහෝමයක් අවහිර වී ඇත. මේ නිසා අලින් වෙනත් මාර්ග හරහා ගමන් කිරීමට පුරුදු වීම මත අලි-මිනිස් ගැටුම් ඇති වීමට මඟ පාදයි. සංවර්ධන ව්‍යාපෘති වලදී අලිමංකඩවල් අවහිර නොවන ලෙස සැලසුම් කිරීමට  වගබලා ගැනීමෙන් මෙය මඟ හරවා ගත හැක. එසේ සිදු කිරීමට අපහසු අවස්ථාවලදී, විසඳුම් ලෙස සිංගප්පූරුව වැනි රටවල් අධිවේගී මාර්ග හරහා සතුන්ට ගමන් කිරීමට පරිසර නළ (Eco-ducts),හා පරිසර පාලම් (Eco bridges) හඳුන්වා දී ඇත (ඡායාරූපය 9). මෙය සංවර්ධන ව්‍යාපෘති වලට බාධාවක් නොවන එමෙන්ම සතුන්ගේ සොබාවික හැසිරීම් වලට ද බාධාවක් නොවන සාර්ථක ක්‍රමවේදයක් ලෙස හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේද දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක ප්‍රදේශයේ මෙවැනි පාලමක් රුපියල් මිලියන 108.5 ක පිරිවැයක් යොදා ඉදිකර ඇත.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (9.1): ඉන්දියාවේ අධිවේගී මාර්ග ආශ්‍රිතව ඉදිකර ඇති පරිසර පාලමක්
(මූලාශ්‍රය: https://www.technocrazed.com)
  ඡායාරූපය (9.2): සිංගප්පූරුවේ අධිවේගී මාර්ග ආශ්‍රිතව ඉදිකර ඇති පරිසර පාලමක්
(මූලාශ්‍රය: https://www.sg101.gov.sg/resources/connexionsg/ecolink)

 

  • අලින් පලවා හැරීම හා අලින් ගම් වැදීම අවම කිරීම

ශ්‍රී ලංකාව තුළ බහුල වශයෙන් අලින් පලවා හැරීම සඳහා ක්‍රමවේදයන් ලෙස අලි වෙඩි හෝ රතිඤාඤා පත්තු කිරීමෙන් විශාල ශබ්ද නිකුත් කිරීම. පටිගත කරන ලද ශබ්දයන් (මිනිස් ඝෝෂාවන්, වෙඩි ශබ්ද) ශබ්ද වාහිනී යන්ත්‍ර හරහා ප්‍රචාරය කිරීම (Wijayagunawardane et al .,2016)රාත්‍රී කාලයේදී නිවෙස් හා කෘෂි කේෂත්‍ර අවට ගිණි මැල දැල්වීම (ඡායාරූපය 10) මිරිස් කරල්, මිරිස් ඇට, ගොම පිළිස්සීම මඟින් අමිහිරි ගන්ධයන් නිකුත් කිරීම,පැල් රැකීම හා වායු රයිපල භාවිතා කිරීම ප්‍රාදේශිය වශයෙන් භාවිතා වන උපක්‍රමයන් වේ.

1 elephant 01

ඡායාරූපය (10): ගිණි මැල දැල්වීම මඟින් අලි පලවා හැරීම
(මූලාශ්‍රය: https://petapixel.com)

 

  • ජීව විද්‍යාත්මත වැටවල් ඉඳිකිරීම

මෙයද පරිසර හිතකාමී අලි පාලන ක්‍රමයකි. මෙහිදී සිදුවන්නේ අලින් ප්‍රිය නොකරන හා  අමිහිරි ගන්ධයන් නිකුත් කරන පැළෑටි අදාල කෘෂි කේෂත්‍රය අවට සිටුවීමයි (ඡායාරූපය 11). මෙහිදී කටු සහිත පඳූරුමය ශාක (උදා. පැඟිරි කුලයේ ශාක, හණ, පතොක්, බෝගන්විලා) ප්‍රධාන කෘෂි භෝගයෙනි කි.මී ගණනාවකට දුරින් විශාල පරිමාණයෙන් අලින්ගේ ගමනාගමනයට බාධා ඇතිවන අයුරින් සිටුවිය යුතුයි. නමුත් මෙයද ප්‍රායෝගිකව ක්‍රියා කිරීමට අපහසු නිසා එතරම් සාර්ථක අයුරින් සිදුනොවේ.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (11): ජීව විද්‍යාත්මත වැටවල්
(මූලාශ්‍රය: https://upload.wikimedia.org , https://ichef.bbci.co.uk)
  ඡායාරූපය (11): ජීව විද්‍යාත්මත වැටවල්
(මූලාශ්‍රය: https://upload.wikimedia.org , https://ichef.bbci.co.uk)

 

 මීට අමතරව  කෘෂිකර්මාන්තයේදී අලින් ප්‍රිය නොකරන බෝග වගාවන් වලට යොමු වීමද (උදා. තේ, කෝපි, මිරිස්) ගොවියන්ට යම් අකාරයක සහනය ගෙන දෙන්නක් වුවද සෑම ප්‍රදේශයකටම උචිත නොවීම,පාරිසරික සාධක, ප්‍රාග්ධනය, දැනුම හා ආකල්පමය තත්ත්වයන් නිසා එයද ප්‍රායෝගික වශයෙන් සිදුනොවන ක්‍රියාදාමයකි.

 

  • අලි අඟල් නිර්මාණය කිරීම (Elephant Trenches)

අලින්ට එය හරහා ගමන් කිරීමට තරම් පුළුල් නොවන, අලියාගේ ප්‍රමාණයට වඩා පටු  අඟල් නිර්මාණය මඟින් අලින්ගේ ගමනාගමනයට බාධා පමුණුවීම මෙහිදී සිදු කරයි.

1 elephant 01

ඡායාරූපය (12) : අලි අඟලක්
(මූලාශ්‍රය: http://ecotrendsalliance.org)

 

  • නවීන තාක්ෂණයන් භාවිතා කිරීම

වර්තමානයේදි තාක්ෂණික මෙවලම් භාවිතා කිරීම මඟින් අලින් ස්ථාන ගත වී ඇති ප්‍රදේශ හඳූනා ගැනීමට කටයුතු කරනු ලැබේ. මෙමඟින් අලි සංචරණ රටා හඳූනා ගැනීම සඳහා  ගෝලීය ස්ථාන ගත කිරීමේ පද්ධති (GPS) සහිත කරපටි අලින්ට පළඳවා නිරන්තර පරීක්ෂා කිරීම් වලට ලක් කරනු ලැබේ. අනෙකුත් නවීන තාක්ෂණික ක්‍රම හමුවේ ලාභදායීම ක්‍රමය මෙය වන අතර අළුත ඉපදෙන අලි පැටවුන්ට පවා මෙම කරපටි පැළඳවීම සිදුකළ යුතු නිසා නිරන්තරයෙන් කේෂත්‍රයේ සිට අලින් පරීක්ෂා කිරීම සිදුකළ යුතුයි. මෙමඟින් අලි සංක්‍රමණික රටා, අලි ගහණයේ වර්ධනය ආදී බොහෝ තොරතුරු රැස් කර ගත හැකි වීම නිසා අලි-මිනිස් ගැටීම් පාලනය කිරීමට ගතහැකි සාර්ථක ක්‍රමවේදයක් ලෙස යෝජනා කළ හැකිය.

  • තාවකාලික කුඹුරු වැට

වී වගාවේ ආරක්ෂාවට හඳුන්වා දුන් තාවකාලික කුඹුරු වැට සංකල්පයද අලින්ගෙන්  වී වගාවට වන හානිය අවම කර ගැනීමට යොදාගත් ක්‍රමයකි. අස්වනු නෙලීමෙන් පසු තාවකාලික කුඹුරු වැට (මෙහිදී බොහෝ විට යොදා ගැනෙන්නේ විදුලි වැටකි) ගලවා ඉවත් කිරීම නිසා අලින්ට එම ප්‍රදේශ ගොදුරු බිම් (Feeding grounds)ලෙස යොදා ගත හැකිය. එවිට අලින් ගම් වලට වැදීම අවම වන අතර වෙනත් කෘෂී කේෂත්‍ර වලට ඇදීයාම ද අවම වේ.

තවද මෑත කාලයේදී  මී මැස්සන්ල වැටක් ලෙස යොදා ගෙන අලින් පාලනය කිරීමට සිදු කළ උත්සහයේදී උඩවලව ජාතික වනෝද්‍යානයේ අලින් 120ක පමණ නියැඳියක් තෝරාගෙන ඔවුනට කෝපාවිශ්ට වූ ආසියානු මී මැස්සන්ගේ නාදය පටිගත කර අසන්නට සලසන ලදී. මේ අවස්ථාවේදී ගස් යට විවේකි සුවයෙන් පසු වූ අලි එකවරම පැමිණි එම ශබ්දයෙන් කලබල වී හිස් ලූ අත දිව ගිය බව වාර්තා වේ (King et al.,2018). නමුත් පසු කාලීනව පර්යේෂකයන් පිරිසක් පෙන්වා දුන්නේ මී මැස්සන් මඟින් ආසියානු අලින් බියගැන්වීමට හැකියාවක් ඇතැයි යන මතය මිත්‍යාවක් බවයි. මෙම පර්යේෂණයේදී A.mellifera හා A.cerana යන විශේෂ වල මී මැස්සන්ගේ අඩංගු මී වඳ පෙට්ටි අලි ප්‍රවේශ හරහා ඉදිකර පර්යේෂණ සිදු කළ අතර එහිදී නිරීක්ෂණය වූයේ අලින්ගේ 51% ක ප්‍රතිශතයක් කිසිදු චකිතයකින් තොරව මෙම මී වඳ නඩත්තු  පසු කර ගිය බවත් ඉන්පසු අවස්ථාවලදී එම ප්‍රතිශතය තවත් ඉහළ ගිය බවත්ය (Dror et al.,2020)

  • පාලනය කිරීමට අපහසු අලින් වෙනත් සුදුසු ස්ථානයක ස්ථාකලත කිරීම (Translocation of problem animals)

විවිධ උපක්‍රම භාවිතාකොට අලින් රක්ෂිත වලට එලවා දැමීම මෙන්ම අලි සුරක්ෂිතාගාර හා අලි අනාථාගාර වලට ගෙනවිත් දැමීම මෙලෙස හැඳින්විය හැක. උඩවලව ඇත් අතුරු සෙවන හා පින්නවල අලි අනාථාගාරය එවැනි අලින් රුක බලා ගන්නා ස්ථාන වලට නිදසුන්ය. මෙම ස්ථාන වලදී අලින්ට අවශ්‍ය ආහාර පාන,සෞඛ්‍ය පහසුකම් ලබාදී අලින් රැක බලා ගැනීම සිදු කරයි. නමුත් විශේෂ අවශ්‍යතා සහිත, අබාධිත තත්ත්වයේ පසුවන අලි, ඇතුන් විනා තම සොබාවික පරිසරයේ වෙසෙන අලි, ඇතුන් මෙලෙස කෘතීමව සකස් කල ස්ථානයන්ට ගෙනැවිත් රැක බලා ගැනීමට අවශ්‍ය නොවේ. නමුත් අලින්ට හානි නොවන ක්‍රියා මාර්ග මඟින් අලින් වෙනත් රක්ෂිත වලට පලවා හැරීම කාලෝචිතය.

මේ අනුව පැහැදිලි වන්නේ අලින් පලවා හැරීම හෝ ගම් වැදීම පාලනය කිරීමට එකම ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට වඩා ක්‍රම කිහිපයකින් යුත් මිශ්‍ර ක්‍රමවේදයක් භාවිතා කිරීම වඩාත් උචිත බවයි. කෙසේ වෙතත් ජන මාධය හරහා දැන ගැනීමට ලැබෙන්නේ  අලි මරණ දිනෙන් දින උග්‍රවෙමින් පවතින බවයි. සොබාවික හේතුන්වලට අමතරව වගා ලිං වලට ඇඳ වැටීම්, දුම්රියේ ගැටීම් (ඡායාරූපය 13) වැනි හේතුන් නිසාද, වෙඩි තබා මරා දැමීම් (වගාවන් ආරක්ෂා කර ගානීමට හා දළ ලබා ගැනීමට) මිනිසා විසින් වස දීම හා හක්ක පටස් භාවිතා කිරීම (ඡායාරූපය 14) වැනි අමානුෂික ක්‍රියාවන් නිසාද සැළකිය යුතු අලි මරණ සංඛ්‍යාවක් සිදුවේ.

 

1 elephant 01   1 elephant 01
ඡායාරූපය (13) : දුම්රියක ගැටුනු අලියෙක්
(ඡායාරූප අනුග්‍රහය: මහාචාර්ය කේ. බී. රණවන)
  ඡායාරූපය (14) : හක්ක පටස් නිසා මරණයට පත් අලියෙක්
මූලාශ්‍රය: (https://mahooraluxurysafarissrilanka.files.wordpress.com)

 

මෙලස සිදුවන අලි මරණ අවම කර ගැනිම සඳහා විවිධ රටවල් විවිධ ක්‍රියාමාර්ග අත්හදා බලනු ලැබේ. නිදසුන් ලෙස  අසාම් හා බටහිර බෙංගාලයේ දුම්රිය මාර්ග අසල අලි සංචරණ හඳුනා ගැනීම සඳහා ජෛව ධ්වනි පාදක සංවේදක (Bio-acoustic based sensors) සවිකරනු ලැබීය. මෙමඟින් අලින්ගේ චලන නිසා හට ගන්නා ශබ්දයන් නිරීක්ෂණය කර දුම්රිය පාලක මද්‍යස්ථානයට දැනුම් දෙන ලදී. එමඟින් රියදුරන් දසදෙනකුට අලින් දුම්රියේ ගැටීමෙන් සිදුවීමට තිබූ අනතුරු වළක්වා ගැනීමට හැකි වූ බව වාර්තා වේ. 

කෙසේ වෙතත් මේ සියල්ල අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ අලි-මිනිස් ගැටුමට යල් පැන ගිය, කෙටි කාලීන විසඳුම් නොව වඩාත් යාවත්කාලීන හා විද්‍යාත්මක වශයෙන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුම් සෙවිය යුතු කාලයක් පැමිණ ඇති බවයි. විශේෂයෙන්ම මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයත් විශේෂඥ දැනුමත් දේශපාලනික මැදිහත් වීමකින් තොරව අලින්ගේත් අසරණ මින්සුන්ගෙත් සුභ සිද්ධිය උදෙසා ලබාදිය යුතු කාල වකවානුවක් එළඹ ඇත. තම පෞද්ගලික ලාභ අපේක්ෂාවන් හා පරමාර්ථ ඉවතලා දිනෙන් දින ඔඩු දුවන මෙම ගැටළුවට ස්ථිරසාර විසඳුමක් ලබා දීමට අපොහොසත් වුවහොත් මෙම අලි සම්පත අප භූමියෙන් වඳ වී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.

 

1 elephant 16

 

බී.ඒ.පී චාමිණී ප්‍රේමතිලක
මහාචාර්|ය කේ.බී. රණවන
සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුව
විද්‍යා පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

ජනකවියෙන් මතුවන සිංහල ගොවි සංස්කෘතිය

පොදු ජන ජීවිතයත්, ඒ ආශ්‍රිත උපත ලද ජනශ්‍රැතියත් අතර පවතින්නේ අවියෝජනීය සම්බන්ධතාවයකි. ජන ජීවිතයේ විවිධ අංගයන් හා ස්වභාවයන් සමඟ නිරන්තරව බැදි පවතින ජනශ්‍රැතිය අධ්‍යයනය ජන ජීවිත පිළිබඳ අධ්‍යනයන් හි බෙහෙවින් සුවිශේෂ වූවකි. එහෙයින් ජන ජීවිතයත් ජනශ්‍රැතියත් අතර පවතින්නේ ගසක කඳත් එහි පොත්තත් අතර පවතින්නාක් බඳු දැඩි සම්බන්ධතාවයක් යැයි අපට පැවසිය හැකිය. පොදු ජන සමාජ‍‍යෙහි පරිසරය හා මුසුව මිනිසා නිපදවන භෞතික නිර්මාණයන් මෙන්ම ජනශ්‍රැතිය ද මිනිසා විසින්ම මිනිසාගේ ආධ්‍යාත්මය තුළ නිර්මාණය කර ලද්දක ප්‍රතිඵලයකි. ජනශ්‍රැතිය පිළිබඳ විද්‍යාත්මක අදහස් දක්වන බ්‍රිතාන්‍ය ජාතික විලියම් තෝම්ස් පුරා විද්‍යාඥයා ප්‍රථම වරට “ජන සම්මත පුරා වස්තු” යන යෙදුම වෙනුවට ජනශ්‍රැතිය යන්න භාවිතා කරමින් මිනිසුන්ගේ ගති පැවතුම් සිරිත්, විරිත්, චර්යා ධර්ම, මිත්‍යා විශ්වාස කවි කථා, ප්‍රස්ථා පිරුළු ආදිය මෙයට ඇතුලත් බව අවධාරණය කළේය. පොදු ජන සාහිත්‍ය වූ කලි මේ ජනශ්‍රැතියට අයත් ජනකථා ජනකවි ආදි පොදු ජන සාමුහිකත්වයෙන් උපත ලද නිර්මාණාත්මක සාහිත්‍යයයි. මේ අතරින් ජන ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳී පවතින එක් සාහිත්‍යාංගයක් ලෙස “ජනකවිය” හඳුන්වා දිය හැකිය.

පොදු ජන සාහිත්‍යයක් ලොව තුල බිහිවූයේද එයට පසුබිම් වූයේ සමකාලීන සමාජයේ පවතින අනේක සමාජ තතු හා පාරිසරික තතුය. එම සාහිත්‍යයට වස්තු විෂය වන්නේ ඒ තාක් සමාජයෙහි පවත්නා එහිම මූලිකාංගයන්ය. ශ්‍රී ලාංකේය සමාජයේ ජනකවිය ද මේ ලක්ෂණ සියල්ලෙන් පරිපූර්ණ සාහිත්‍යාංගයකි. විශේෂයෙන් ගැමි සමාජ ව්‍යූහයක් පැවති ඉපැරණි සාම්ප්‍රදායික සමාජයේ කෘෂිකාර්මික දිවිපෙවත මූලික කොට ගත් ගැමියාගේ විශ්වාස ආකල්ප හා චර්යාධර්මයන් ආශ්‍රිත හැසිරීම් බෙහෙවින් ඔහු විසින් නිර්මිත ජනකවියට වස්තුවිෂය විය. එහෙයින් ජන කවිය ගැමි සංස්කෘති‍‍යෙහි මුල්බැසගත් එයට ජීවය දෙන එහිම උපාංගයක් ලෙස ‍‍‍පෝෂණය විය. මෙම කෙටි ලිපියෙන් උත්සාහ ගනු ලබන්නේ ජනකවියෙන් හෙලිවන ගැමි ගොවි සංස්කෘතිය පිළිබඳ කෙටි විමසුමක යෙදීමයි.

 

2 janakavi 02ජන කවියේ සම්භවය හා හෙල ගොවිතැන

ජනකවියේ සම්භවය පිළිබඳව නියත නිගමන වලට පැමිණීම අද අසීරු කරුණක්ව පවතී. එහි ඉතිහාසය පිළිබදව සැකහැර දතහැකි කරුණු සොයාගත හැක්කේ අල්පයකි. එහෙයින් ඒ පිළිබඳ නිගමන වලට එළඹීම එතරම් බුද්ධි ගෝචර වූවක් නොවේ. ශිෂ්ටාචාරයේ මුල් යුගයේ පටන් මිනිසා ස්වකීය ආකල්ප අදහස් හා සිතුම් පැතුම් ආදී නානා විධ මනෝභාවයන් ප්‍රකාශ කළේ කවි මඟිනි. ගද්‍ය රචනාව බිහිව ඇත්තේ ඊට බොහෝ කලකට පසුවය. ස්තෝත්‍ර යාඥා වැනි ජන සාහිත්‍යාංග වල වයස විමසා බැලීමේදි මුල්කාලීන මිනිසා පවා ජනකවිය භාවිත කර ඇති බව තර්ක ඉදිරිපත් කළ හැකිය. සංස්කෘත පද්‍ය ‘වාල්මිකී’ ගෙන් ආරම්භ වූ බවද ඉංග්‍රීසි පද්‍ය සාහිත්‍ය ‘චෝසර්’ ගෙන් ආරම්භ වූ බවද පිළිගැනේ. (වික්‍රමරත්න, 1999). ප්‍රාග් ශිෂ්ටාචාර යුගයේදීම කවිය උපත ලබන්නට ඇති බව සිරිල් ජේ. ෂාර්ජ් නමැති පඩිවරයාගේ අදහසයි. ශිලා යුගයේ වාසය කළ ආදිම මනුෂ්‍යයා භූතයන්ට හා දෙවියන්ට කරන ලද යාඥාවන් නිසා කවිය ඇතිවී යැයි තවත් එක් මතයක් පවතී. ඇතැමෙක් ඒවායේ ඉතිහාසය 19 වෙනි ශතවර්ෂයේ අගභාගයට වඩා ඈතට නොයන බව පෙන්වා දෙති. එහෙත් සීගිරි ගී විමසන විට අටවන සියවස තෙක් සිංහල කවියේ ඉතිහාසය ඈතට දිවයන බව හැඟෙයි. මේ ආදි නොයෙක් මත හා විවාදයන් ජන කවියේ සම්භවය පිළිබඳව පැවති අතර ජනකවි හි මුල සෙවීම තරමක් අසීරු කරුණක්ව තිබේ. එහෙත් එය පෙර පැවති ලාංකික ජන සමාජය තුල අන්තර්ගත සමාජ ආර්ථික හා සංස්කෘතිමය තත්වයන් පිළිබඳ එලිදක්වන කැඩපතක් ලෙස පෙනී සිටි බව නම් සැබෑය.

 

ගැමි කෘෂි ආර්ථික ක්‍රියාකාරකම් හා ජනකවි

මුල් කාලයේ ගැමියා ආර්ථිකමය උද්පාදනයන් උදෙසා විවිධ වෘත්තීන්හි නියැලුණ බව පෙනේ. විශේෂයෙන් කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් එකල ගැමියා හේන් කුඹුරු ගොවිතැන් කරමින් තම කටුක දිවිපෙවෙත යාත්‍රා කළේය. කෘෂි දිවියට අමතරව ගැල් මගින් වෙළදාම්කිරිම, පතල් කැණීම, වලං තැනීම, කම්හල් වැඩ ආදි ග්‍රාමිය ගෘහස්ථ කර්මාන්ත රාශියක් තම ජීවන උපක්‍රමයන් ලෙස තෝරා ගෙන තිබුණි. පොදු වශයෙන් ගැමියා ගේ මේ හැම ජීවන වෘත්තියක් වටාම රළුබව හා කටුක බව දැඩිව අරක් ගෙන තිබිණ. එහෙයින් ඇග වෙහෙසා දාහය වගුරුවන ඔවුහු තම ජීවිතයේ දුක් පීඩා, වේදනා, අසහනකාරි හැඟීම් කවි බසින් ගායනා කළේ හුදෙක් රසිකයා පිනවීම සඳහාම නොව සිය කායික මානසික දුක්පීඩාවන් තරමක් හෝ ඒ තුලින් සමනය කර ගැනීම සඳහාය.

පෙරකල පටන් කෘෂිකර්මාන්තයේ යෙදුණ සිංහල ගැමියාගේ එක් විශේෂ ලක්ෂණයක් වූයේ සාමුහික බවයි. ගැමියන් කිහිප දෙනෙකු හවුල් වී එක යායට කුඹුරු හේන් ගොවිතැන් කරන්නේ ඔවුන්ගේ ඇබ්බැහි කම නිසාම නොව ග්‍රාමිය සමාජයෙහි පැවති ඔවුන්ගේ සාමුහික බව හා සුහද ශීලි බව නිසයි. මෙක්සිකෝවේ ගැමි සමාජයන් පිළිබඳ අධ්‍යනයක යෙදුන රෙබට් රෙඩ්පිල්ඩ් ට අනුව ගැමි සමාජ වල අන්තර් පුද්ගල සම්බන්ධතා වැදගත් සමාජකාරකයක් විය. ඒ අතරින් අන්‍යෝන්‍ය වශයෙන් සමාජ සමානයන් අතර පවත්වන සම්බන්ධතා එනම් ගැමියා - ගැමියා අතර සම්බන්ධතා සුවිශේෂ වුණි. ඔවුන් අතර නිරන්තරයෙන් සුහද සහයෝගාත්මක සම්බන්ධයක් පවතින බව රෙඩ්පීල්ඩ් අදහස් කරයි. ලාංකිය ගැමි සමාජයේ ද ගැමියා අතර සාමූහික එකමුතු බවක් පැවති බව ජන කවි සාහිත්‍ය විමර්ෂණයෙන් පැහැදිලි වේ. ගැමියා ගොවිතැන් කටයුතු වලදි සාමුහිකව ඔවුනොවුන්ට අත්තම, කයිය ආදිය තුලින් උදව් උපකාර කිරීමට කිසිවිටෙකත් මැලි නොවිය.

මේ ලෙස රූ බර අගනෝ
කයියෙන් කයියට අත්තන්
යායේ හැම තැන කුඹුරු
ඉවර කරති සතොසින් සැම
 සැදීලා
ගෙවාලා
නෙලාලා
එකලා

 

මින් පැහැදිලි වන්නේ ගොයම් නෙළුමේදි ගැමි ලියන් කයිය, අත්තම තුලින් සාමුහිකව කුඹුරු යායේම වැඩ නිම කරන බවයි. ලාංකේය ගොවිජන සංස්කෘතියෙහි අත්තම් ක්‍රමය, කයිය වැනි ශ්‍රම හුවමාරු ක්‍රම නූතන තාක්‍ෂණික උපකරණ භාවිතය වෙනුවට යොදාගත් මෙවලම් ලෙස සැළකිය හැකියි. නූතන කෘෂිකාර්මික කටයුතුවලදී අත්තම, කයිය වැනි ශ්‍රම හුවමාරු ක්‍රම වෙනුවට අද කෘෂිකර්මාන්තය තුළ රොබෝවරු, උෂ්ණත්වය සහ තෙතමනය සංවේදක යන්ත්‍ර, ගුවන් රූප සහ GPS තාක්ෂණය වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරයි. අප අතර සුලභව භාවිතවන ගොයම් මඩින යන්ත්‍ර (භූතයා , සුනාමිය වැනි අනවර්තනාමයන් ගෙන් හඳුන්වන යන්ත්‍ර) ආදිය ද මෙයට ඇතුළත් කළ හැකිය. මෙම දියුණු උපාංග සහ නිරවද්‍ය කෘෂිකාර්මික රොබෝ පද්ධති මඟින් ව්‍යාපාරවලට වඩා ලාභදායී, කාර්යක්ෂම, ආරක්ෂිත ක්‍රමෝපායන් සම්බන්ධ වන බව සැබෑය. එහෙත් මානව සම්බන්ධතා විෂයෙහි සාම්ප්‍රදායික ශ්‍රම හුවමාරු ක්‍රම මඟින් ඉටුකළ මෙහෙය අපට අද අහිමිව ගොස් ඇත. මානව සම්බන්ධතා බිදීයාම හෝ දුරස්වීම හරහා සිදුවිය හැකි ව්‍යසනයන් සෘජුව කෙටිකාලීනව නොව, වක්‍රව දිගුකාලීනව අපට විදින්නට සිදුවනු ඇත.

එකම යායක් තුල ගොවිතැන් කටයුතු වලට මෙසේ උදව් උපකාර කරගන්නා ඔවුන් රෑ නිදි වරා පැල් රකින අතරවාරයේ කවියක් දෙකක් අඩහැර පෑමට අමතක නොකළේය. එක අතකින් තමන්ගේ වගාවන් වනසතුන්ගෙන් ආරක්‍ෂාකර ගැනීමට නිදි වර්ජිතව සිටිමට උදව් වූ අතර දිවා කල වූ වෙහෙස තාවකාලිකව සමනය කරගැනීමට පිටිවහල් විය. එහෙයින් ගොවියාගේ තම කයේ වෙහෙසත් මනසේ වෙහෙසත් පරයා මුවින් පිටවන්නේ ඔවුන්ගේ සැබෑ ජීවන තතු හෙලිවන කවිපදයි. ජනකවි අතර පැල් කවි මීට හොද උදාහරණයකි.

පෙර කාලේ කරපු අකුසල් වල
මෙම කාලේ විදිති දුක් පැල් වලට
රජකාලේ පටන් පුරුදුයි පැල්
ලොකුරාලේ කියමු පැල් කවි
අපලා
වෙලා
රැකලා
තෝරාලා

 

නිරන්තරයෙන් ගැමියා කර්මය, කුසලාකුසල, පෙර ආත්මය පිළිබද විශ්වාස වලින් වෙලි සිටියේය. මේසා විශාල දුක් කම් කටොලු වලින් තමන් පීඩාවට පත්ව සිටින්නේ කිසිවකුගේ වරදින් නොව තමන් පෙර ආත්මයේ කල පාපයක් නිසා යැයි සිතා සැනසීමට උත්සාහ කරයි. එය “පෙර කාලේ කරපු අකුසල් වල අපලා” පදයෙන් පැහැදිලිව දක්වයි. බුදුදහමට අනුව කර්මය මත සියල්ල සිද්ධ වෙන බවත් තමා පමණක් නොව තම පරම්පරාවද මේ කටුක දිවි පෙවත තරණය කරණ බව හේ සිතයි.

කුඹුරු ගොවිතැන් මෙන්ම හේන් ගොවිතැන් ආදියෙන් ලබන අස්වනු වන සිවුපාවුන්ගෙන් ලද හානි මත විනාශ වී යාම ආදියද තමාගේ “ලැබීම” මත සිදුවන දෙයක් ලෙස එකල ගැමියා සිතන්නට පුරුදු වූවෙකි.

අහසේ තරු සේම ගොවිතැන්
පොළොවේ වැලි සේම බෝගත්
මගේ හේනමයි ඌරට
විෂ්ණු සමන් දෙවියෝ නඩු
 කරන්නේ
ඉසින්නේ
පෙනෙන්නේ
බලන්නේ

 

තමන්ගේ හේනේ අස්වනු පාලුවට කිසිවකුගේ වගකීම අවැසි නැති බවත්, තමන් පමණක් නොව සියළු ගැමියන් එය මැදිහත්ව විද දරා ගන්නා බව හැඟවීමක් මින් ගම්‍ය වේ. එහි ආරක්‍ෂාවට දෙවියන් පිහිට ආරක්‍ෂාව පමණක් ඉල්ලා සිටිමට ඔහු ඉදිරිපත් වේ. එහෙයින් ගොවිතැන් ආරම්භ කිරිමට ප්‍රථමයෙන් දෙවියන්ට භාර හාර වී ගොවිතැන රැකදෙන ලෙස කන්නලව් කිරීමට පුරුදු පුහුණු වුණු ගැමියන් තම අස්වනු නෙලාගත් පසු ඒවා ඔප්පු කිරිමට ද අමතක නොකළේය. මේ සියල්ලත් සාමුහිකව සැම ගැමියෙක්ම පිළිගැනිමද සමකාලින ගැමි සමාජය තුල දක්නට ලැබුණ විශේෂ ලක්ෂණයක් විය. එය ඔවුන්ගේ සාමුහික ඒකාබද්ධතාව ප්‍රකට කරන ලක්ෂණයක් විය.

එහෙත් නූතන ගොවියා මේ සියල්ල තම කර්මයට පමණක් භාර දී නිහඩ වන්නෙකු නොවේ. ඔහු තම අයිතීන් වෙනුවෙන් සටන් වදින ගොවි කම්කරුවෙකි. අනෙක් අතින් ඔහු තමන්ට ඉහලින් සිටින බලවේග හඳුනාගත් අයෙකි. එහෙත් ඔහු ඉපැරණි ගොවියා මෙන් නිදහස් හා සරල ජීවනක්‍රමයක් ගෙවන අයෙක් යැයි පැවසිය නොහැක. ඒ සඳහා බලපෑ හැකි හේතු රාශියක් නූතන සමාජයෙන් වර්තමානයේ අපට විද්‍යාමාන වේ.

ගැමි සමාජය ප්‍රධාන කොටස් 2 කින් සමන්විත වූවකි. ඔවුන් සාමාන්‍ය ගැමියා හා ප්‍රභූ පක්‍ෂයයි. සාමාන්‍ය ගැමියා ගේ නිර්මානයක්වූ ජනකවිය තුළින් ඔවුන් හා ඔවුන්ට ඉහලින් සිටින ප්‍රභූවරුන් සමඟ පැවති සම්බන්ධය පෙන්නුම් කෙරුන කවි නිමවීමට අමතක නොකළේය. විශේෂයෙන් ගැමියා හා ප්‍රභූවරයා අතර පැවති අනුග්‍රාහක-ක්‍රායක සම්බන්ධතාව තුළ සුහද සහයෝගාත්මක සම්බන්ධයක් වගේම ඊට වඩා අද මෙන් ගැටුම්කාරී ස්වරූපයක් පැවති බව ද ජන කවි තුළින් හෙලිවිණ. එය වඩාත් කැපීපෙනුනේ ගැමි කෘෂිකර්මාන්තයෙන් බැහැරව වෙනත් ජීවන වෘත්තීන්හි නිරත වූ අවස්ථාවලයි.

පතල් කර්මාන්තයේ නිරත වූ ගැමියන් විදි දුක් ගැහැට ඔවුන් කවියට නැඟුවේ මෙසේය.

වදුරා ගොඩට අපි ඇවිදින් විදින
ගැටිය නැති මුට්ටි පොඩියේ උයන්
පණම් විස්ස ණය වෙනකොට හිතට
මීට වැඩිය නරකද ගම හිඟා
  දුකා
කකා
දුකා
කකා

 

මැණික් හා මිනිරන් පතල් කර්මාන්තය එකල ලංකා සමාජයේ ඉතා දියුණු මුදල් ඉපයිය හැකි කර්මාන්තයන් විය. ගම්මාන වල ගොවිතැන් කටයුතු දිගින් දිගටම කිරීමට වඩා පතලක වැඩ කිරීම වැඩි වාසි ගෙන දෙන්නක් යැයි සිතූ ඇතැම් ගැමියන් පතල් ආශ්‍රිත ප්‍රදේශ කරා ඇදි යන්නට විය. නමුත් ඔවුන්ට සිදුවූයේ තමා නොසිතු විරූ දෙයක් බව ඉහත කවියෙන් පැහැදිලිය. එහි දුෂ්කරතාව කොතෙක්ද කිව හොත් “මීට වැඩිය නරකද ගම හිගා කකා” යනුවෙන් පවසමින් හිගා කෑම පතලේ වැඩට වඩා ඉහල රැකියාවක් බව පෙන්වයි.

අඩ අඩා ගොසින් ඉඳගෙන
කඩ කඩා නිමක් නැති ගල්
කළ වැඩ ඇවිත් එපිසර මැනලා
මදි අඩෝ කියා ගොස් පැමිණිලි

එන්ට කිව් දිනට පඩිගන්නට
දෙන්ට තොපිට පඩියක් මෙහි නැත
වෙන්ට තිබෙන දේ නවත්තන්නට
යන්ට කියා කන්සෙට පාරක්

ගල් මඩුවේ
ගොඩ කෙරුවේ
බැලුවේ
කෙරුවේ

ආවා
කීවා
බැරුවා
ගැසුවා

 

2 janakavi 03ගැමියාගේ ගමේ සමාජයේ ගොවිතැනෙහි ගත කළ තෘප්තිමත් ජීවිතය පතල් වැඩට පැමිණීමෙන් පසු වියැකී ගිය බවක් පෙනේ. විශේෂයෙන් ගැමියාට මුහුණ දෙන්නට වූ ප්‍රධාන දුෂ්කරතාව වූයේ පතල් හිමියන් ගේ තාඩන පීඩන වලට ගොදුරු වීමයි. එක් පැත්තකින් මහන්සියට ප්‍රමාණවත් මුදලක් නොලැබෙන අතර අනෙක් අතින් හිරිහැර කරදර විදීමට පවා සිදු වුනි. මෙහිදි පතල් හිමියන් හා ගැමියන් අතර නිරන්තර ගැටුම් ඇති වූ බවත් සාමාන්‍ය ගැමියා සූරාකෑමට ලක් වි සිටි බවත් පෙනේ.

මෙලෙසින් කෘෂි අර්ථ රටාව තුල විවිධ අවස්ථාවන් ඉස්මතු වන අන්දමින් ජනකවි සිය දහස් ගණනක් විවිධ ක්‍ෂේත්‍ර අතර හා විවිධ කලාපවල නිර්මාණය වී ඇති අතර තවද නෙළුම් කවි, අස්වනු නෙලිම හා සම්බන්ධ කවි කමත් කවි, කුරක්කන් කවි වශයෙන් කෘෂි අර්ථ රටාවේ කුදු මහත් හැම ක්‍ෂේත්‍රයක්ම ජන කවි සාහිත්‍යයක් ගොඩනැගී පැවති අතර එපමණක් නොව ඉන් පරිබාහිර වූ ජීවන රටාවන් තුළ පැවති අර්බුද ඇතුළු යථා ජීවන පැවතුම් ඉස්මතු කිරීමට ජනකවියා බෙහෙවින් දායක වී ඇති බව පැහැදිලි වේ.

වර්තමාන සමාජයේ වෙළදපල මත රඳා පවතින නව ලිබරල්වාදි ආර්ථික ව්‍යුහය සමඟ කෘෂිජීවන ක්‍රමය ගැටීමේ ප්‍රතිඵලයකින් යටකී ජීවන ක්‍රම රටාවන්හි පැවති සෞන්දර්යාත්මක පැතිකඩ ක්‍රමයෙන් වියැකී ගොස් ඇති බව පෙනේ. සාම්ප්‍රදායික ගොවියා වෙනුවට ව්‍යාපාරික ගොවියන් හා ගොවි කම්කරුවන් බිහි වී ඇති බැවින් ඔවුන් නිරන්තර අරගලයක නිරත වී ඇති බවද පෙනේ. මතු බිහිවන නිර්මාණාත්මක සාහිත්‍යයෙහි ජනකවි ඇතුළු ජනශ්‍රැතින්හි තේමාවන් හා පදනම් ප්‍රස්තුතයන් වර්තමාන සමාජ ආර්ථික හා පාරිසරික තතු හෙළි කරන නිර්මාණයක් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇති බව පෙනේ.

 

ආචාර්ය ශාන්ත වන්නිනායක
සමාජ විද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුව
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

 

පැරණි වාරි තාක්ෂණය හා බද්ධ වූ ආගමික ස්මාරකවල අප නොදත් විෂයානුබද්ධ පසුබිම

3 irrigation 02පැරණි වාරිතාක්ෂණය යනුවෙන් සඳහන් කල විට, පොදුවේ අප කාහටත්, මැවී පෙනෙනුයේ බිසෝ කොටුව, රළපනාව,පිටාර ඇළ වැනි අංග සමහරකි. ඒත් බෞද්ධ සංස්කෘතියෙහි වන්දනීය ස්මාරක අතර, ප්‍රමුඛත්වයක් රැගත් ස්ථූපය හෙවත් චෛත්‍යය, වාරිකර්මාන්තය සමග පවත්නා සම්බන්ධය පිළිබඳව ඔබ කිසිවකු කල්පන නොකරනු ඇත. ස්ථූපය නමැති ආගමික හා වාස්තු විද්‍යාත්මක ස්මාරකය පිළිබඳව විස්තෘත අධ්‍යයනයක් ලෙස මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් (The Stupa in Ceylon) නමැති ග්‍රන්ථය ලියනු ලැබ තිබේ. එහි එක් පරිච්ඡේදයක, ස්තුපය විශ්වයේ සංකේතයක් බව මහාචාර්යය පරණවිතාන සඳහන් කරයි. හැම ස්තූපයකම පාහේ ධාතු ගර්භයේ මහාමේරුවේ කුඩා ආකෘතියක්  තැන්පත් කර ඇත. පැරණි ඉන්දියානු ජනශ්‍රැතියේ මහාමෙර යනු විශ්වයේ ඇති විශාල ආකෘතියකි. එහි මතුපිට තව්තිසා දෙව්ලොවත් , එහි පාමුල නාග ලෝකයත් ඇති බව එහි කියැවේ.

 ඒ අනුව මහමෙර යනු , ඉන්දියාවේ පිහිටි උස් කන්දක් නොව විශ්වලෝකයේ ඇති ආකෘතියකි. මේ ගැන අදහස් දැක්වූ බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය ස්වාමින්වහන්සේ විශේෂ සංකල්පයක් හඳුන්වා දී ඇතැයි උන්වහන්සේ සමඟ ඉතා සමීපව ඇසුරුකළ ලේඛක සමුද්‍ර වෙත්තසිංහ සඳහන් කළේය. එනම් මහමෙර යනු අප සෞරග්‍රහ මණ්ඩලය ඇතුළත් විශ්වීය පද්ධතියේ ඇති කිසියම් ආකෘතික රටාවක් බවය. ආතර් සී ක්ලාක්ගේ Profile of the Future සහ The Deep Range වැනි කෘතිවල ද, විශ්වයේ එවන් අදෘශ්‍යමාන ආකෘති ගැන කියැවේ. ස්තූපයේ සිව් දිසාවේ ඇති වාහල්කඩ නම් මුහුණත් හතරද මහමෙර නම් ආකෘතියේ මුහුණත් බව පරණවිතාන මහතාගේ අදහස වූයේය. එසේම, චෛත්‍ය පිළිබඳ ලියවුණු සංස්කෘතික ග්‍රන්ථයක් වූ “චෛත්‍ය සේවානු ශංසාවදානය” යන්නෙහි පලමුවන ශ්ලෝකයේ, චෛත්‍යට පුද සත්කාර කරන මිනිසුන්ට ලැබෙන ආනිශංසයක් ලෙස ආකාශ ගංගාවේ සුගන්ධවත් ජලය නිතර ලැබෙන බව දක්වා තිබේ. මේ සියල්ල සංකල්ප පමණක් ලෙස නොගත යුතු වේ.

මන්ද ස්තූපය සැබැවින්ම, වැස්ස ආකර්ෂණය කරන, ස්මාරකයක් බව ඒ පිළිබඳව කෙරුණු නවීන පර්යේෂණ සාක්ෂි දරයි. ස්ථූපය, වර්ෂාව ආකර්ෂණය කරගැනීම යන කාර්යය සඳහා වාස්තු විද්‍යාත්මකව ඉදිකර ඇති බවට සාක්ෂි සපයන පර්යේෂණයක් සිදු වී ඇතැයි මා හට දැන් වූ පේාදෙණිය ව්ශ්වවිද්‍යාලයේ, ආචාර්ය උපාධි අපේක්ෂක රමේෂ් සුරියාරච්චි මහතා, එම පර්යේෂණය සිදු කළ පර්යේෂකයාගේ අත් පිටපතක් මා වෙත යොමු කළේය. පුරාවිද්‍යා පර්යේෂකයෙකු වූ නිමල් ජයසිංහ මහතා, රුවන්මැලි දාගැබේ පාදම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදුකළ පර්යේෂණයකදී, එහි පාදම, යකඩ දැල්, රිදී ලෝහ ස්ථර, සහිත එකක් බව, මහා වංශය ද පරිශීලනය කරමින් පවසයි. මේ නිරීක්ෂණය ඇසුරින් ඔහු ලියූ “ The Construction Details schematic of the Base of Mahatupa as Described in Mahawansa ” නම් ලිපියේ දාගැබක සිදුවන විදුලි ආරෝපණ උත්පාදක ක්‍රියාවලිය පැහැදිලි කරයි. ඔහු එහිලා 1787 දී, අබුහම් බෙනට් නම් විද්‍යාඥයා විසින් ආදර්ශනය කරන ලද “Electroscope” නම් උපකරණය තුළ, සිදුවන ක්‍රියාව චෛත්‍යයක ද සිදුවන බව පැහැදිලි කරයි. චෛත්‍යයේ පාදම තුළ එක්රැස්වන විදුලි ආරෝපණ, වෛත්‍ය මධ්‍යයේ ඇති ස්තම්භයක් වූ ස්තුප යෂ්ටිය මගින් ඉහළට ප්‍රක්ෂේපණය වෙමින් කොත තුළින් විහිදුවන බව නිමල් ජයසිංහගේ අදහසයි. මේ ක්‍රියාවලිය වැස්ස ඇතිවීම කෙරේ කෙසේ බලපාන්නේදැයි පැහැදිලි කරන පරිගණක ඉංජිනේරු ජානක ඇඹුල්දෙණිය තම “පෞරාණික චෛත්‍ය හා එහි විද්‍යාත්මක පසුබිම ” (2007) කෘතියෙන් මනා විද්‍යාත්මක  පැහැදිලි කිරීමක යෙදෙයි.

 

නිමල් ජයසිංහගේ ආදර්ශන සටහන

3 irrigation 03

නිමල් ජයසිංහ දක්වන අන්දමට චෛත්‍ය පාදමේ සිට පැන නැගෙන ධන විදුලි ආරෝපණ ස්තුප යෂ්ටිය ඔස්සේ විහිදි පැරණි දාගැබ්වල පැවති ඡත්‍රය හෙවත් පසුකාලීන දාගැබ්වල වූ කොත්කැරැල්ල ආරෝපණය වෙයි- අහසෙහි වූ වළාකුළු සමන්විත වන්නේ සෘණ ආරෝපණ වලිනි- එවිට දාගැබත් අහසත් අතර විදුලි කෙටීමක් සිදු වෙයි- එසේ විදුලි කෙටීමේදි අහසෙහි වළාකුළෙහි වූ සෘණ ආරෝපණ මේඝගර්ජනාවක් ලෙස චෛත්‍ය දෙසට පොලා පනියි- මේ සිදුවන අකුණු සැර හෙවත් විදුලි කෙටීම්වලදි වාතයේ ඇති නයිට්‍රජන් (N2) හා ජල අංශුද මිශ්‍ර වෙමින් නයිටේ්‍රට  (NO3) සහ නයිට්රජන් ඩයොක්සයිඩ් (NO2) නිර්මානය වෙයි- නයිට්රජන් ඩයොක්සයිඩ් මගින් ශාක වර්ධනයට අවශ්‍ය ඇමෝනියා (NH3) නිපදවෙයි- විදුලි කෙටීම්වලින් පසු ඇතිවන වැස්ස මගින් මේ ලවණ පස මත පතිත කෙරේ- මේ ආකාරයෙන් දාගැබක් අවට ඇති වැව් වලටද ඒවා මිශ්‍ර වෙයි- ඒ ජලය වී වගාව හා වෙනත්  භෝග සරු කරයි.

ජනක ඇඹුල්දෙණිය තව දුරටත් ප්‍රකාශ කරන අන්දමට නුවර කලාවිය (නුවර වැව, කලා වැව හා පදවිය වැව සහිත ත්‍රිකෝණය) පෙදෙස, පැරණි අනුරාධපුර යුගයේ පැවති සශ්‍රික පෙදෙසක් වූයේ මේ ක්‍රියාවලිය මගින් නිරන්තරව එම පෙදෙස පෝෂණය වන බැවිනි. ඒ අනුව පැරණි ස්ථූපය වර්ෂාව උත්තේජනය කරන ආකාරයත් ගොවිතැනට අවශ්‍ය නයිට්‍රජනිය සරු පස සාදන ආකාරයත් පැහැදිලි වෙයි.

ඉහත ගෙන හැර දක්වා ඇති විස්තරය මඟින් අප වටහා ගත යුතු මූලික කරුණ වන්නේ, මෙම පැරණි ස්තුප ශ්‍රද්ධාව , භක්තිය වැනි ආගමික මනෝභාව ඉස්මතු කිරීමට පමණක් නොව කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයකට අවශ්‍යම සම්පතක් වූ වර්ෂා ජලය ගබා ගැනීමේ පුරාණ තාක්ෂණයකටද සම්බන්ධ බවයි. අන්තර්ජාතික පුවත්පත් කලාවේදියෙකු වූ මිහිදු කුලසූරිය සුසන්ත ප්‍රනාන්දු ලියා ඇති (Alien Mysteries in Sri Lanka & Egypt) නම් කෘතියේ තුන්වන පරිච්ඡේදයේ දැක්වෙන්නේ අනුරාධපුර ප්‍රධාන ස්ථූප තුන අහසේ ඔරංයාත් තාරකා රාශිය සමඟ නක්ෂත්‍ර විද්‍යාත්මකව සමපාත වන බවය. එසේම ඊජිප්තුවේ ප්‍රධාන පිරමීඩ තුනද එබදුම සමපාත බවක් දක්වන බව ඔහුගේ නිරීක්ෂණයයි.

එසේම ස්ථූපයක අර්ධ ගෝලාකාර හැඩය පවා ආකාශයේ කුඩා කළ ආකෘතියක් වැනි වෙයි. මෙම ප්‍රධාන ස්ථූප මෙන්ම පිරමීඩද අපට දැනට සොයාගත නොහැකි සම්බන්ධයකින් විශ්වය සමඟ බැදී ඇතැයි එම කර්තෘවරයා එම කෘතියේ විශේෂයෙන් දක්වයි.

රුවන්වැලි සෑය

3 irrigation 01

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සාලිය කුලරත්න
සිංහල අංශය ,පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

ගී කෙත

“ගීතය අපේ සංස්කෘතියෙහි මධ්‍යතන යුගයේ අග භාගයෙහි ජන ජීවිතයේ පැතිකඩක් අඟවයි”

4 geeketha 01රෑ පැල් රකින කුරහන් පැසෙනා හේනේ
මගේ තනි නොතනියට නුඹවත් නැතුවානේ
මින්පසු නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ පෝයදා වාගෙයි ගම්මානේ

එගොඩ ගොඩේ ඉස්මත්තෙදී දුටුවාට
ඇල කණ්ඩ්යේ ඉඳගෙන අත වැනුවාට
මගේ හිතූ මනාපෙට මං බහ දුන්නාට
නාඩන් මස්සිනේ පෙර පිං නැතුවාට

හැදුවේ ගෙපැළ මට තනියෙන් හිදින්නද
බාලේ ඉඳන් බැදි ආලේ බිදින්නද
රෑ තුන්යමේ මේ ලෙස දුක් ව්ඳින්නද
හීනෙන් මිසක් හැබැහින් එක් නොවන්නද

නෑනා නැතත් කල දවසක් ගෙවෙන්නයි
සිටු කුමරියක් කරකාරේට ලැබෙන්නයි
පත්තිනි ගම්බාර දෙව්යන් රකින්නයි
කුරහන් කපන දා මා සිහි කරන්නයි

ගායනය - ගායන ශිල්පී අබේවර්ධන බාලසූරිය
ගායන ශිල්පිනී ත්‍යාගා එන්. එඩ්වඩ්

මේ ගීය අපේ සංස්කෘතියෙහි මධ්‍යතන යුගයේ අග භාගයෙහි ජන ජීවිතයේ පැතිකඩක් අඟවයි. ඒ යුගයෙහි නෑනා සහ මස්සිනා යන ඇවැස්ස නෑකම , එකී යුවලගේ සංස්කෘතික බන්ධනය දෙදරා යන සමාජ සාධක පෙළ ගැසෙන්නේ ගමේ සංවෘත දොරකවුළු , බාහිර ලොවට විවෘත වෙමිනි. එහිදී සංස්කෘතිකව බැදී සිටි නෑනා හා මස්සිනා අතරට බාහිර පුද්ගල සබඳතා ප්‍රවේශ වෙයි. මේ ගීයෙහි තීව්‍ර ලෙස ඉගි කරන්නේ, මෙහි මුඛ්‍යකථකයින් දෙදෙනා අතර වූ එවන් තුන්වැන්නෙකුගේ ඉදිරිපත් වීම හෝ සමාජමය බාධාවකි.
එහෙත් මෙහි නෑනා හා මස්සිනා අතරට දැක්වූ සංස්කෘතික ආකෘතියට සමගාමීව අධ්‍යාත්මික බන්ධනයක් ද වෙයි. නෑනා හෙවත් පෙම්වතිය සිය දුක්ඛඃප්‍රාප්ත මස්සිනා කෙරේ ආශිර්වාද පෙරටුව කරන පාපොච්චාරණය එවන් සොඳුරු අධ්‍යාත්මික බැදීමක තතු කියාපායි. මේ ගීයේ අපේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ජන ජීවිතයේ කේන්ද්‍රීය හැඩතල රැසක් ගැබ්වන බව පෙනේ.

මූලිකව මෙහි එන යුවළ අවැස්ස නෑනා හා මස්සිනාට බව මතු දැක්වෙන ජන කවිය සාක්ෂි දරයි.

වැසි දිය අයිති ගං හෝ ඇළ සමුදුරටයි
මල් පැණි අයිති වටගුමු දෙන බඹරාටයි
මීරා අයිති කිතුලේ කල වැද්දාටයි
නෑනා අයිති කාටද මස්සිනාටයි

  4 geeketha 02

මොවුන් දෙපළ, ඔවුන්ගේ ගෝචර පෙදෙස වූ ගම් බැද්දේ,යම් කිසි නිශ්ච්ත ස්ථාන වලදී උනුනට දර්ශනය වෙති. එගොඩහ ගොඩේ ඉස්මත්ත ,ඇළ කණ්ඩ්ය යනු එවන් තැන් දෙකකි. ඒවා වී ගොවිතැනට අතිරේකව, කුරහන් වැපිරීමක් සිදුවන ස්ථාන ලෙසද මේ ගීය දැක්වෙයි. ආචාර්ය නන්දදේව විජේසේකර සිය ලංකා ජනතාව (1986) ග්‍රන්ථයේ දැක්වෙන ලෙස, සිංහල ජනයා ව්‍යාවෘත වූ මේ හේනේ ගොවිතැන ඔවුනට වැද්දන්ගෙන් සංක්‍රමණය වූවකි.වියළි කාලයේ කැලෑ කපා ගිනි තබා ඒවායේ කුරක්කන් වැවීම හා කැපීම පැරණි සංස්කෘතියෙහි උත්කර්ෂවත් අංගයකැයි සනාථ වන්නේ කුරක්කන් මාලය ආදී කාව්‍ය ගැමි සාහිත්‍යයේ ජනප්‍රිය වී පැවති බැවිනි.
කුරක්කන් මාල කාව්‍ය අතර මෙවැනි කවි දක්නට ලැබේ.

පලුත් මහත ඇති රුහුණු කුරක්කන්
වළලු ගැසී බිම වැතිරෙන්නේ
සළුත් පැළදගෙන රූසිරි අඟනෝ
කුරක්කමට සැරසී යන්නේ

මේ ගීයේ අවසානයට කියවෙන “කුරහන් කපන දා මා සිහි කරන්නයි” යන ගීත පදයෙන් මූර්තිමත් වන්නේ, ගැමි සංස්කෘතියේ උත්කර්ෂවත් අවස්ථාවක් වූ කුරක්කන් නෙළීමේ ප්‍රස්තාවයි. මෙහි කියවෙන නෑනා ද අනිවාර්යයෙන් ඒ අවස්ථාවට සහභාගී විය යුතුව සිටියත් ඇය පිටස්තර අයෙකු හා දීග යන බව පැහැදිලිය. කුරක්කන් කවි අතර එන

“කුරක්කන් කපනු මට බෑ කියාලා එන්ඩ වරෙන් ඔය දීගේ ඇරීලා” යයි පවසන්නේ ද නෑනා පිට දීගයක ගිය විටක ඈ නිසා හටගත් වියෝවෙන් ශෝකාතුර වූ මේ ගීයේ කියවෙන මස්සිනාමය.

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්|ය සාලිය කුලරත්න
සිංහල අංශය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

ජලභිතිකා රෝගය වළක්වා ගන්නේ කෙසේද?

5 rabies virus longitudinalලෝකය පුරා පැතිර පවතින වඩාත්ම මාරාන්තික රෝගය ජලභිතිකාව ලෙස හැඳින්විය හැක. ලෝකය පුරා 60,000 කට අධික මනුෂ්‍ය ජීවිත සංඛ්‍යාවක් ජලභීතිකාව නිසා වාර්ෂිකව අහිමි වන අතර එයින් 40% ක් පමණ වයස අවුරුදු 15 ට අඩු ළමුන්ය. මේ අනුව ලෝකයේ මොනයම් හෝ ස්ථානයක සෑම විනාඩි දහයකටම වරක් එක් මිනිස් ජීවිතයක් ජලභීතිකා රෝගය නිසා අහිමි වන බව දැන ගත යුතුය. මෙලෙස අහිමි වන මිනිස් ජීවිත සංඛ්‍යාවෙන් 99% ක්ම ආසියා හා අප්‍රිකා මහද්වීප වලට අයත් වන අතර ජලභීතිකාව නිසා මිය යන මිනිසුන්ගෙන් 95% කටම මෙම රෝගය, ජලභීතිකාවට ලක් වූ සුනඛයන් මාර්ගයෙන් බෝ වී ඇත.

˜ජලභීතිකා රෝගය ලයිසා වෛරස් කාණ්ඩයට අයත් වෛයිරසයක් මඟින් ඇති කරනු ලබන අතර එම වෛරසයට සියලූම ක්ෂීරපායි සතුන්ගේ ශරීර තුළ වර්ධනය වී රෝගය ඇති කිරීමේ හැකියාවක් පවති.˜

ජලභීතිකා රෝගයට ලක් වූ සුනඛයකුගේ හෝ වෙනත් ක්ෂීරපායි සතකුගේ සපා කෑමක්, සීරිමක් හෝ මිනිස් ශරීරයේ පවතින තුවාලයක් හෝ සීරීමක් ලෙව කෑම මඟින් ජලභීතිකා වෛරසය ශරිර ගත විය හැකිය. ජලභීතිකාව සතෙකුගෙන් සතෙකුට පැතිරිය හැකිය. එමෙන්ම ඇස්, මුඛය වැන් ස්ථාන වල ස්ලේශ්මල පටල හරහාද වෛරසය ශරීර ගත විය හැකිය. එසේ ශරීරයට ඇතුල්වීමෙන් අනතුරුව ස්නායු තන්තු හරහා සුෂුම්නාව කරා ගමන් ගන්නා වෛරසය එමගින් මොළය තුළට ඇතුල් වේ.

මොළය තුළට ඇතුල් වීමෙන් අනතුරුව මස්තිෂ්ක ප්‍රදාහය ඇති කරනු ලබන අතර පසුව මොළය ආසාධනය කර ඉදිමීමකට ලක් කරයි. මෙම අවස්ථාවේ දි වෛරසය කේඨ ග්‍රන්ති කරා ගමන් ගනී. එසේ ගමන් ගන්නා වෛරසය කේඨය මගින් බාහිර පරිසරයට මුදා හරිනු ලබන අතර සපා කෑම හෝ කේඨය තැවරීම මඟින් තවත් සතෙකුගේ ශරීරයට වෛරසය ඇතුල් වේ. ජලභීතිකාවට ලක්වුණු පුද්ගලයෙකු සිහිය නැති වී ඉන් අනතුරුව මරණයට ලක් වෙයි.

 

5 rabies 02ජලභීතිකා රෝගය සතෙකුගෙන් සතෙකුට පැතිරෙන ආකාරය

ජලභීතිකාව යනු ඕනෑම ක්ෂීරපායි සතෙකුට බෝවිය හැකි රෝගයක් වන අතර මිනිසුන්ටද එය සතුන් මාර්ගයෙන් බෝ වීම සිදු වෙයි. ජලභීතිකා රෝගය නාගරික හා වනගත වශයෙන් චක්‍ර දෙකක් දැකිය හැකි වුවද අප වැනි රටවල ප්‍රධාන වශයෙන් දැකිය හැක්කේ නාගරික චක්‍රයකි. ජලභීතිකා රෝගය ප්‍රධාන සායනික ආකාර දෙකකින් දැකිය හැකිය.

ඉතා ආක්‍රමණශීලි රළු ස්වභාවයක් පෙන්වන සතුන් මෙන්ම ගොළු හෝ අංශභාග ස්වභාවයක් පෙන්වන ජලභීතිකා රෝගී තත්වයක්ද ඇත. එබැව්න් රෝග ලක්ෂණ මත පමණක් පදනම් කරගෙන ජලභීතිකා රෝගය නිශ්චය කිරීම ඉතා අපහසු හෝ සුදුසු නොවන අතර ඒ සඳහා රසායනාගාර සහාය ලබාගත යුතුය.5 rabies virus longitudinal සායනික ලක්ෂණ මත පමණක් පදනම් වී ජලභීතිකා රෝගය හදුනාගත නොහැක්කේ වුවද අනපේක්ෂිත හීලෑ බව, අඳුරු ස්ථානවල සැඟ වී සිටීම, වහා කිපෙන සුළු බව , කලබලකාරි ස්වභාවය,ශබ්ද සහ දකින දේවල් සමිබන්ධව අධි සංවේධි බව, අවසානයේ ආහාර සහ ජලය නොගෙන සිටීම හෝ ජලය පානයට අපහසු තත්වයක් ඇතිවීම වැනි රෝග ස්වභාවයක් ගැනීම ජලභීතිකා රෝගයට අයත් ඇතැම් ලක්ෂණ විය හැකිය. එසේ වුවත් ගොළු ජලභීතිකා රෝග ස්වභාවයේදි මෙවැනි කිසිදු ලක්ෂණයක් පෙන්නුම් නොකරන අතර රෝග ලක්ෂණ පහළ වීමට පළමුවෙන්ද ජලභීතිකා වෛරසය කේඨය සමඟ බැහැර වීම සිදුවීම හැකිය.

රෝග ලක්ෂණ පහළ වීමෙන් අනතුරුව සතුන්ගේ හෝ මිනිසුන්ගේ ජලභීතිකා රෝගය සුව කිරීමේ කිසිඳු හැකියාවක් නොමැත. එමෙන්ම ඒ සදහා කිසිඳු ප්‍රතිකාරයක්ද නොමැත.

එබැවින් ජලභීතිකාව වලක්වා ගැනීම මේ සඳහා ප්‍රධානතම විසඳුම් ලෙස හදුන්වා දිය හැකිය. සුනඛ සපා කෑම් වළක්වා ගැනීම සහ ජලභීතිකාව සඳහා තමන්ගේ නිවසේ හෝ අවට පරිසරයේ සිටින සියළු සුනඛයන් එන්නත් කරවා ගැනීම වේ. මෙයට අමතරව සැක කටයුතු සුනඛ සපා කෑමකදී / සීරිමකදි හෝ තුවාල වූ ස්ථානයක් ලෙව කෑමකදී වහාම ගලා යන පිරිසිදු ජලයෙන් සබන් යොදා දිගු කාලයක් සෝදා ගෙන හැකි ඉක්මණින් රෝහලක් වෙත ගොස් එන්නත් සහ අනෙකුත් වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගැනීම මඟින් ජලභීතිකාව ඇති වීම වලක්වා ගත හැකිය.

 

5 rabies 02

ආසියානු සහ අප්‍රිකානු රටවල 95% කට වැඩි ප්‍රමාණයක් මිනිසුන්ට ජලභිතිකාව බෝකරනු ලබන්නේ සුනඛයන් ව්සින් බැවින් මිනිසුන් සහ අනෙකුත් සතුන් ජලභීතිකාවෙන් ආරක්ෂා කර ගැනීමට නම් අනිවාර්යෙන්ම සුනඛයන් තළින් ජලභීතිකා රෝගය තුරන් කළ යුතුය. ඒ සඳහා කළ හැකි ප්‍රධානතම සහ ඉතාමත් අවශ්‍ය ක්‍රමවේදය නම් අප පරිසරයේ ජීවත්වන සුනඛයන්ගෙන්   70% කට අධික ප්‍රමාණයක් එන්නත් කරනු ලැබීමයි. එමෙන්ම අප වැනි රටවල ඉතා අධික ප්‍රමාණයක් අයාලේ යන සුනඛයන් දක්නට හැකි බැවින් එම අයාලේ යන සුනඛ ගහණය පාලනයද ඉතා අවශ්‍යම කාරණයක් වෙයි.

ලෝක සත්ත්ව සෞඛ්‍ය සංවිධානයේ (WOAH/OIE) නිර්දේශ අනුව සුනඛ ගහණය පාලනය සඳහා පහත දැක්වෙන ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුව ඇත.

  1. වගකිව යුතු සුනඛ හිමිකාරිත්වය පිළිබඳ අවබෝධය ඇති කිරීම.
    මේ අනුව සෑම සුනඛයකුටම අයිතිකරුවකු සිටින අතර එය එම සත්ත්වයාගේ සුභසාධනයට මෙන්ම එන්නත් කිරීම, උපත් පාලනය වැනි අවශ්‍යතාවයන්ටද කදිම ක්‍රමයක් සැලසෙයි
  2. සුනඛයන් ලියාපදිංචි කිරීම.
    මෙම ක්‍රමවේදයට අනුව හිමිකරුවන් නැති සුනඛ ගහණයක් ඇතිවීම අවම කරගත හැකිය
  3. සුනඛ උපත් පාලනය.
    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් කරන ලද අධ්‍යනයක් අප රට, තුල අයාලේ යන සුනඛයන්ගේ ප්‍රධානතම ප්‍රභවය නිවෙස්වල ඇති කරන සුනඛයන් බව හඳුනාගෙන ඇත. එබැවින් පැටවුන් බිහිකිරීමේ කාරණයට හැර සුනඛයන් ඇති කරන්නේනම් එම සතුන් හට උපත් පාලනය සඳහා සැත්කමක් කරවා ගත හැකිය.
  4. අයාලේ යන සුනඛයන් අල්වා ඔවුන්ට වඳ සැත්කම් කොට එන්නත් කර නැවත සිටි ස්ථානවලට අත හැරීම ජලභීතිකාව වැලැක්වීමට මහත් සේ උපකාර වේ.
  5. පරිසර කළමනාකරණය
    අයාලේ යන සුනඛයන් බෝ වීමට ප්‍රධානතම හේතුවක් වන්නේ ඔවුන්ට අවශ්‍ය ආහාර සුලභතාවයයි.එබැවින් අහාරයට ගත හැකි අපද්‍රවය නිසි පරිදි බැහැර කිරීම සහ කළමනාකරණය අත්‍යවශ්‍ය කාරණයක් වේ.

 

එබැවින් ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා සතුන් එන්නත් කරවා ගැනීම, අනවශ්‍ය ගැබ් ගැනීම් වැලැක්වීම සඳහා සැත්කම් කරවා ගැනීම,සුරතල් සතූන් අයාලේ යාමට ඉඩ ලබා නොදීම, කසළ බඳුන් සෑම විටම පියන් වලින් වසා තැබීම සහ ඔබ අවට අයාලේ යන සතුන් සිටීනම් එම සතුන් එන්නත් කිරීම, සැත්කම් කිරීම සඳහා අවශ්‍ය උපකාර ලබා ගැනීම ප්‍රධාන වෙයි.

 

5 rabies 02

ඔබ ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?

යම් සතෙකුට ජලභීතිකා රෝගය වැළදි ඇතැයි, ඔබ සැක සිතන්නේනම් එම සතා ඇල්ලීමෙන් හෝ ආහාර සැපයිමට යාමෙන් වැළකී සිටිය යුතුය. කිසිඳු අවස්ථාවක කුඩා පැටවුන්ට කිරි දෙන සුනඛයන් ,නිදා සිටින සතුන් හෝ ආහාර ගන්නා සතුන්ට හිරිහැර නොකිරීමට වග බලා ගත යුතුය.

  • කුඩා සතුන්ට කිරි දෙන සතුන්
  • නිදා සිටින සතුන්
  • ආහාර ගන්නා සතුන්

මෙවැනි අවස්ථාවක සිටින සතෙකුට කිසිවිට හිරිහැර නොකළ යුතුය.

ඇතැම් විට වන සතුන් ඔබ වෙතට ඉතා හීලෑ ස්වභාවයකින් පැමිණිය හැකිය. එහෙත් එය ඉතා අස්වාභාවික හැසිරීමක් බැවින් එවැනි සතුන්ගෙන් ඈත් වී සිටිය යුතුය. ඔබ සෑම විටම ඔබ නොදන්නා හෝ නොහඳුනන සුනඛයන්ගෙන් ඈත් වී සිටිය යුතුය. එයට හේතුව වන්නේ එම සතුන් සෑම විටම එන්නත් කර නොමැති වීමට ඇති හැකියාවයි.

හදිසියේ ඔබ සුනඛයකුගේ හෝ ජලභිතිකාව ඇතැයි සැක සහිත සතෙකුගේ සපා කෑමකට ලක් වුවහොත් කළ යුත්තේ කුමක්ද? මෙයට පෙරද සඳහන් කල පරිදි වහාම එම ස්ථානයේ සබන් යොදා පිරිසිදු ගලා යන ජලයෙන් මිනිත්තු 15 කට අධික කාලයක් සෝදා හැර හැකි ඉක්මණින් වෛද්‍යවරයකුගේ උපදෙස් සඳහා යොමු විය යුතු අතර වෛද්‍යවරයා පවසන ක්‍රියාමාර්ග එලෙසින්ම පිළිපැදිය යුතුය.

අප දන්නා පරිදි ශ්‍රී ලංකාව තවමත් ජලභීතිකා රෝගයෙන් පීඩා විඳින රටකි. වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යාංශය ජලභීතිකා ප්‍රතිකාර සඳහා රුපියල් මිලියන 600 ක් පමණ වියදම් කරන අතර සුනඛ ජලභීතිකා මර්ධනය සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් වියදම් කරනු ලබයි. එබැවින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජලභිතිකා මර්ධනය සඳහා අප හට ඉතා විශාල වගකීමක් ඇති බව සිහි තබා ගත යුතුය. අප නිවසේ ඇති කරන සතුන් හා අප අවට පරිසරයේ සිටින සුනඛයන්ට එන්නත් ලබා දීම, උපත් පාලන සැත්කම් කරවීම, සතුන්ට ආහාරයට ගත හැකි ආහාර ද්‍රව්‍යය විධිමත්ව බැහැර කිරීම, අනවශ්‍ය ලෙස ඇති කරන පැටවුන් නිසි පරිදි ඇති දැඩි කර ගැනීම හෝ සුදුසු පුද්ගලයන්ට ලබා දීම මේ අතරින් ඉහළ වැදගත් කමක් දරයි.

 

ජලභීතිකා එන්නත පහත පරිදි ලබා දිය හැකිය.
 

පළමු එන්නත

දෙවන එන්නත

තෙවන එන්නත 

සිව්වන එන්නත

මව එන්නත් කර ඇත්නම්

සති 12 

සති 14 - 16

වසර 1 කින්

 

මවගේ එන්නත් විස්තරය නොදනීනම්

පළමු පැමිණීමේදී හෝ ඇස් ඇරිය වහාම   

සති 12 

සති 14 - 16

වසර 1 කින්

අයාලේ යන සුනඛයෙක් නම්

පළමු පැමිණීමේදී හෝ ඇස් ඇරිය වහාම

සති 2 -4 ට පසුව

සති 14 - 16      

වසර 1 කින්

 

ලභීතිකාව මාරාන්තිකයි. ඔබගේ සුරතල් සුනඛයන් සහ පූසන් එන්නත් කිරීමෙන් ඔවුන් මෙන්ම ඔබද ජලභීතිකාවෙන් ආරක්ෂා වේ. ප්‍රාදේශිය පශුවෛද්‍ය කාර්යාලයෙන් නොමිලේ දෙන ජලභීතිකා එන්නත ඔබගේ සුනඛයාට සහ පූසාට අදම ලබා දෙන්න.

—ඔබට ජලභීතිකාව නැවැත්විය හැකිය. ජලභීතිකාව ඉතිහාසයට එක්කරමු.—

 

වෛද්‍ය ටිකිරි විජයතිලක BVSc, MTAP, MSc
පශු වෛද්‍ය නිලධාරි,
සත්ත්ව සෞඛ්‍ය අංශය,
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336