බුරුලු ප්‍රදාහය (Mastitis) කිරි ගව පාලනයේදී කිරි ගවයන්ගේ කිරි බුරුලේ ඇති වන සුලභ රෝගී තත්වයක් ලෙස සලකනු ලැබේ. මෙම රෝගී තත්වය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියලි කලාපයේද පැතිරී ඇති අතර වියලි කලාපයට සාපේක්ෂව තෙත් කලාපයේ සුලභව දක්නට ලැබේ.
බුරුලු ප්‍රදාහය ආසාදිත සතුන්ගේ කිරි නිෂ්පාදනයට සෘජුවම බලපාන ඇතැම්විට මාරාන්තිකද වියහැකි රෝගී තත්වයකි. එමෙන්ම මෙම රෝගයට ලක්වූ සතුන්ගේ කිරි නිෂ්පාදනයද සැලකියයුතු මට්ටමකින් පහත වැටෙන බැවින් බුරුලු ප්‍රදාහය කිරි ගොවීන්හට ආර්ථිකමය වශයෙන් විශාල පාඩුද ඇතිකරනු ලබයි. නමුත් ඉතා හොඳ ගොවිපල කළමනාකාරීත්වයක් තුළින් මෙම රෝගය ඇතිවීම වැලැක්වීම ද රෝගී සතුන් සිටින ගොවිපලවල රෝගී තත්වය සාර්ථකව මැඩපවත්වාලීමටද හැකියාවක් ඇත. එබැවින් මෙම රෝගය පිළිබඳව මෙන්ම ගොවිපල කළමනාකාරීත්වය පිළිබඳවද මනා අවබෝධයක් සහිත ගොවිමහතුන්හට , බුරුලු ප්‍රදාහය ඇතිවීම වැලැක්වීමෙහිලා වැඩි වාසිදායක තත්වයක් ඇතිකරගත හැක.
බුරුළු ප්‍රදාහය යනු කිරි ගවයන්ගේ ක්ෂීර ග්‍රන්ථින්හි (කිරි බුරුලෙහි) ඇතිවන ප්‍රදාහ නැතහොත් ආසාදන තත්වයයි. මෙලෙස එළගවයන්ගේ කිරි බුරුලක හඳුනාගත හැකි ප්‍රධාන ආසාදන වර්ග දෙකකි. ඒවා නම්; කිරි බුරුලෙහි ඇතිවන තුවාල, සීරීම් වැනි බාහිරින් සමට හා පටක වලට සිදුවන හානි නිසා සිදුවන ආසාදන තත්වය සහ බැක්ටීරියා, වෛරස, දිලීර හා මයිකොප්ලාස්මා වැනි රෝගකාරකයන් නිසා සිදුවන ආසාදන තත්වයයි. තුවාල මගින් ඇතිවන බුරුලු ප්‍රදාහයට ගොදුරුවීම ගොවිපල මනා නඩත්තුවකින් යුතුව පවත්වා ගෙන යාමෙන්ද , රෝගකාරක නිසා ඇතිවන බුරුලු ප්‍රදාහයට ගොදුරුවීම ගොවිපල මනා සනීපාරක්ෂාවකින් යුතුව පවත්වා ගැනීමෙන්ද සාර්ථකව මැඩලිය හැකිය.
මේ අනුව ඇතිවන බුරුලු ප්‍රදාහ රෝගයෙහි ප්‍රධාන අවස්ථා දෙකක් හඳුනාගත හැක. ඒවා පහත පරිදි වේ.
සායනික නොවන අවස්ථාව (Subclinical)
රෝග ලක්ෂණ බාහිරින් හඳුනාගත නොහැක. සතුන් ශාරීරිකව නිරෝගීව සිටියි. කිරි වල වෙනසක් දැකිය නොහැක. නමුත් වෙනත් කිසිදු හේතුවකින් තොරව කිරි නිෂ්පාදනය ආසන්න වශයෙන් 10%-20% අතර ප්‍රමාණයකින් අඩුවේ. මෙම අවස්ථාවේදී රෝගය වැළඳී ඇත්දැයි පරීක්ෂාකර බැලිය හැක්කේ රසායනාගාර පරීක්ෂණ මගින් පමණි. මෙම අවස්ථාවට ප්‍රතිකාර නොකිරීම නිදන්ගත බුරුලු ප්‍රදාහයක් (Chronic Mastitis) දක්වා වර්ධනය වීමට හේතුවේ.
˜ කිරි බුරුල, ඉදිමීම, රතුවීම, උෂ්ණත්වය වැඩිවීම, අල්ලනවිට උෂ්ණත්වය වැඩිවීම, අල්ලන විට වේදනාවක් දැනීම, උණ ගතිය, කම්පන තත්වය, කිරිවල පැහැය, සුවඳ හා ද්‍රව භාවයේ වෙනස්කම් සහිත කිරි නිපදවීම ඇතිවීම ˜ කිරි නිපදවීම අඩුවීම හෝ නැතිවීම.
සායනික අවස්ථාව (Clinical)බුරුලු ප්‍රදාහයේ රෝග ලක්ෂණ බාහිරින් දැකිය හැක. කිරිවල ස්වභාවයෙහි වෙනසක් ඇත. කිරි නිෂ්පාදනය සැලකියයුතු මට්ටමකින් පහතවැටේ. |
රෝගය කාරකයබුරුලු ප්‍රදාහය ඇතිකරන ප්‍රධාන රෝග කාරකය නම් බැක්ටීරියා වේ. බැක්ටීරියා ආකාර කිහිපයක්ම බුරුළු |
|
රෝග නිර්නය සිදු කිරීම |
||
කිරි බුරුල බාහිරින් පරීක්ෂා කර බැලීමෙන් කිරි දොවාගත් විගසම කිරි බුරුලේ කොටස් හතර වෙනවෙනම පරීක්ෂාකර බැලිය යුතුය. මෙහිදී බැහැරින් හැඳුනාගත හැකි වෙනස්කම් ඇත්දැයි පරීක්ෂාකර බැලිය යුතුය. උදා: ඉදිමුම, පැහැය වෙනස්වීම, ඇල්ලූවිටදී වේදනාවක් දැනීම හා කිරි බුරුලෙහි උෂ්ණත්වය වෙනස්වීම යනාදියයි. මීට අමතරව බුරුලෙහි තුවාල සීරීම්, තන පුඩුව ඉරීම් යනාදියද පරීක්ෂාකර බැලිය යුතු වේ |
කිරි වල ස්වභාවය පරීක්ෂා කිරීමෙන් කිරි වල වර්ණයේ වෙනස්වීම් (රතු, දුඹුරු හෝ මඩ කහ පැහැය රෝගී සතෙකුගේ කිරිවල දැකිය හැක) මීට අමතරව ද්‍රව ස්වභාවයේ වෙනස්වීම් (කැටිති ඇති වීම, ජෙලි ස්වභාවය) පරීක්ෂාකර බැලිය යුතුය. මෙය පහසුවෙන් පශු වෛද්‍ය කාර්‍යාල මගින් ගොවි මහතුන්ට ලබාදී ඇත. Strip cup භාවිතයෙන් පරීක්ෂාකර බැලිය හැක. නැතහොත් තද පැහැ (කලු පැහැය වඩා සුදුසුය) රෙදිකඩක් මතට කිරි දොවා කැටිති ඇත්දැයි පරීක්ෂාකර බැලිය හැක. |
රසායනාගාර පරීක්ෂණ
පරීක්ෂණ වර්ග ගණනාවකි. තන පුඩු හතරින් වෙන වෙනම ලබාගත් කිරි පිරිසිදු බෝතල්වල බහා පශු වෛද්‍ය ආයතනයට ගෙනැවිත් දීම මගින් පරීක්ෂාකරගත හැක. ප්‍රධානතම පරීක්ෂණාගාර පරීක්ෂණයක් වන CMT පරීක්ෂාව එහිදී සිදුකරගත හැකිය. CMT පරීක්ෂාවද ඉතා පහසු පරීක්ෂණයක් වන අතර මෙයට අදාළ උපකරණද පශු වෛද්‍ය කාර්‍යාල මගින් තෝරාගත් ගොවි මහතුන්ට ලබාදී ඇත.
රෝගයට ප්‍රතිකාර කිරීම
රෝග ලක්ෂණ හඳුනාගත් පළමුව කිරි බුරුල සම්බාහනය කර මැග්නීසියම් සල්ෆෙට් ද්‍රාවණයකින් තැවිය යුතුව. ඉන්පසු ඉතා කුඩා කාලාන්තර සහිතව (විනාඩි 10 න් 10 පමණ) කිරි දොවා ඉවත් කල යුතුය. මේ සඳහා ඇතැම් අවස්ථාවලදී දේශීය ප්‍රතිකාර ක්‍රමද භාවිතාකරනු දැකිය හැක. කිරි සම්පූර්ණයෙන්ම දොවා ඉවත්කොට අවශ්‍යතාවයට අනුව සුදුසු ප්‍රතිජීවක වර්ගයක් තනපුඩුව තුළින් එන්නත් කළ යුතුය. මේ සඳහා Penicillin, Neomycin, Amoxycillin වැනි ප්‍රතිජීවක භාවිතාකරනු ලැබේ. දිලීර ආසාදනය හේතුවෙන් හටගන්නා බුරුලු ප්‍රදාහය ප්‍රතිජීවක වලට ප්‍රතිචාර නොදක්වයි. ප්‍රතිජීවක එන්නත් කිරීම දින තුනක් පමණ දිනකට වරක් සිදුකලයුතු වේ. මීට අමතරව රෝගය හඳුනාගත් දින සිට රෝග ලක්ෂණ පහව යනතුරු අඩුතරමින් දිනකට තුන් වතාවක්වත් කිරි දොවා බැහැර කළ යුතුය. ආසාදිත කිරි නිසි ලෙස ඉවත් කලයුතු අතර (5% ෆීනෝල් ස්වල්පයක් කිරි වලට එක්කිරීමෙන්) එලෙස සිදුකිරීමෙන් රෝගී සතුන්ගෙන් නිරෝගී සතුන් හට රෝගය බෝවීම වළක්වාගත හැකිය.
රෝගය සෑදීමේ අවධානමක් සහිත අවස්ථා
- සතාගේ වයස, කිරි මුරය හා බුරුලු ප්‍රදාහ රෝග ඉතිහාසයක් ඇත්ද යනවග.
වයසින් වැඩි සතුන් අතරද කිරි මුරයේ පළමු මාස තුන අතරද බුරුලු ප්‍රදාහය සුලභව දැකිය හැක. තවද පෙර වතාවකදී බුරුලු ප්‍රදාහයෙන් පෙළුනු සතෙකු නැවතත් රෝගයට ගොදුරුවීමේ අවදානම බුරුලු ප්‍රදාහට ලක්නොවූ ගවයින්ට වඩා වැඩිවේ. - ගවයන් වර්ගය හා කිරි නිෂ්පාදනය
ජර්සි හා ෆ්‍රීශියන් සතුන් අතරද ඉහළ කිරි නිෂ්පාදනක් සහිත සතුන් අතරද බුරුලු ප්‍රදාහය සුලභ වේ. - කිරි ලබාගන්නා ආකාරය අනුව ප්‍රමාණයට වඩා කිරි ලබා ගැනීමේදීද, වැරදි ආකාරයට කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතයේදී ද බුරුළු ප්‍රදාහ තත්ව ඇතිවේ.
- කිරි ලබාගන්නා කාල අන්තර අනුව (Time interval)
බුරුලු ප්‍රදාහය ඇතිවීම වළකාලීමට නම් සෑම දිනකම එකම වේලාවකට කිරි දෙවීම සිදුකල යුතුය. - ගව ගාලෙහි සනීපාරක්ෂාව ඉහළ මට්ටමක ඇති ගාලක බුරුලු ප්‍රදාහ රෝගය අඩුවෙන් දැකිය හැකිවේ.
- දේශගුණය
වැසි සහිත කාලවලදී හා ඉහළ උෂ්ණත්වයක් සහිත කාලවලදී බුරුලු ප්‍රදාහ රෝගය සුලභව දැකිය හැක. - ගවගාල සාදා ඇති ආකාරය අනුව අඩු ඉඩ ප්‍රමාණයක වැඩි සතුන් ප්‍රමණයක් සිටීම, මද වාතාශ්‍රයක් තිබීම, ගාලෙහි බිම අපිරිසිදු වීම හා අධික තෙත සහිත බව හා ජල වාෂ්ප අධික වීම රෝග අවධානම වැඩිකරනු ලැබේ.
- ගවයාගේ පෝෂණ තත්ත්වය මත නියමිත ප්‍රමාණයන්ගෙන් යුතු පෝෂණීය ආහාර වේලක් ලබාදිය යතුය.එහිදී විටමින් A, හා B ද සෙලීනියම්, කොපර් හා සින්ක් යන අයන් වර්ගද නියමිත ප්‍රමාණයකින් ලබාදීම මෙම රෝගී තත්වය වළක්වාලීමට හේතු වේ.
රෝග පාලනය හා පැතිරීම වැළැක්වීම
බුරුලු ප්‍රදාහය එක් සතෙකුගෙන් තවත් සතෙකුට බෝවිය හැකි රෝගයකි. එලෙස රෝගය බෝවන ප්‍රධාන ආකාර කිහිපයකි. ඒවා නම්; නිරෝගී සතෙකුගේ තන පුඩු වලින් රෝගකාරකය සහිත කිරි හෝ ජලය ඇතුළු වීම, ආසාදිත සතෙකුගෙන් කිරි දෙවීමට භාවිත කල උපකරණ නිසි ලෙස පිරිසිදු කිරීමකින් තොරව නිරෝගී සතෙකුට භාවිත කිරීම, කිරි දොවන්නා දෑත් නිසි ලෙස පිරිසිදු නොකොට කිරි දෙවීම හා අපිරිසිදු පරිසර තත්ව යනාදියයි.
මනා ලෙස රෝග පාලනයක් සිදුකිරීමට නම් ප්‍රධාන වශයෙන් රෝගී සතුන් වහා වෙන්කොට ප්‍රතිකාර කිරීම සිදු කළ යුතුය. එමෙන්ම නිරෝගී සතුන්ගෙන් කිරි දෙවීමේදී සම්පූර්ණයෙන්ම කිරි දොවා තනපුඩු විෂබීජ නාශක දියරයක ගිල්වීමද කල යුතුවේ. මේ සඳහා වාණිජව නිෂ්පාදනය කරන තනපුඩුව විෂබීජ හරණයට භාවිතා කරන දියරයක් භාවිත කළ හැක (Teat Dip). බුරු,ලු ප්‍රදාහ රෝහ කාරකයා බොහෝවිට දක්නට ලැබෙනුයේ අපිරිසිදු තෙත සහිත ගවගාල් වල සහ අපිරිසිදු කිරි දෙවීමට භාවිතාකරන උපකරණවල බැවින් ගව ගාල හා කිරි දොවන ස්ථානය ද කිරි දොවන උපකරණද නිතර පිරිසිදුකර, විෂබීජ හරණයකර වියළිව පවත්වාගත යුතුය. තවත් විශේෂ කරුණක් ලෙස සඳහන් කළ යුත්තේ ගවගාලට හොඳ වාතාශ්‍රයක්, හිරු එළියක් ලැබිය යුතු බව හා ගෙබිම නිතර වියළිව පැවතිය යුතු බවයි. තෙත් සහිත අඳුරු පරිසරවලදී රෝගකාරක වඩා හොඳින් වර්ධනය වන බැවින් ගවගාලක් හොඳ වාතාශ්‍රයකින් හා වියළි තත්වයකින් පවත්වාගෙනයාම ඉතා වැදගත්වේ. මීට අමතරව ගැබ්ගත් එළදෙනුන්ගෙන් අවසාන මාස දෙක තුළදී ක්‍රමානුකූලව කිරි ලබාගැනීම නවතාදමන ක්‍රියාවලියේදී අවසාන වතාවට කිරි දෙවූ වහාම ප්‍රතිජීවක (Dry cow therapy) බුරුල තුළට එන්නත් කළ යුතුය. ගර්භණී සමයේ කිරි බුරුල වර්ධනය වීම වැඩි වශයෙන් සිදුවන නිසාත්, පහසුවෙන් ප්‍රතිශක්තිය අඩු වී රෝගවලට ගොදුරුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති නිසාත්, එලෙස ප්‍රතිජීවක එන්නත් කළ යුතුවන අතර ප්‍රතිජීවක එන්නත්කිරීම මගින් ඊළඟ කිරි මුරයේ බුරුලු ප්‍රදාහය ඇතිවීම වළක්වාගත හැක.
අවසාන වශයෙන් රෝගය පැතිරීම පාලනය කිරීමේ සාර්ථක ක්‍රමයක් ලෙස කිරි ලබාගැනීමේදී අනුපිළිවෙලින් ලබා ගැනීම පෙන්වාදිය හැක. එම අනුපිළිවෙලින් නම්, ප්‍රථමයෙන් පළමු පැටියා බිහිකළ එළදෙනුන්ගෙන් ද, දෙවනුව නිරෝගීයැයි හැඟෙන වයසින් වැඩි එළදෙනුන්ගෙන් ද අවසානයට රෝගී එළදෙනුන්ගෙන් ද යනාදී පිළිවෙලට කිරි දොවාගැනීමයි. මෙම ක්‍රමය කිරිගවයන් ඇති කරනු ලබන ගොවිපලවල බුරලු ප්‍රදාහය වැළැක්වීමේලා සාර්ථක ප්‍රථිඵල පෙන්වා ඇත. එබැවින් ඔබත් මෙවැනි රෝග මර්දන ක්‍රම අනුගමනය කිරීමෙන් ගුණාත්මක කිරි නිෂ්පාදනක් සහිත කිරි ගොවියෙකු වීමට ඉඩහසර සලසාගන්න.
වෛද්‍ය නිසංසලා සෙනෙව්රත්න
පශු වෛද්‍ය නිලධාරී
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව