ගොවිසවිය සඟරාව

ඔබේ දහදියෙන් සරුසාර වූ කෙත් බිමට, අපෙන් නවමු තාක්ෂණය

˜කිරි ගවයන් ඇති කිරීම යනු විවිධ වෘත්තීන් අතරින් ඉතාමත් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක රැකියාවකි. කිරි දෙවීම, ගව පාලනය හා ගවයන් පිරිසිදු කිරීම,තණකොළ කැපීම ආදී කටයුතු සෑම දිනකම ඉටු කල යුතුය˜

13 dairy 01ගවපාලනය මෙරට ග්‍රාමීය ආර්ථිකය තුළ ඉතාමත් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි. රටේ කිරි නිෂ්පාදනයන් වැඩිම ප්‍රතිශතයකට දායක වන්නේද ලක්‍ෂ03කට ආසන්න වන කිරි සුළු පරිමාණ සාම්ප්‍රදායික කිරි ගොවීන්ය.සැකසුම්කරුවන්ට අලෙවි කරනු ලබන කිරි වෙනුවෙන් දිනකට ගොවීන් අතට ගමන් කරන මුදල රුපියල් ආසන්න වශයෙන් මිලියන 80කි. මහා පරිමාණ ආයෝජකයන් වැඩි විශ්වාසයක් මතුවෙමින් තිබුනද දීර්ඝ කාලයක් මුළුල්ලේ කිරි කර්මාන්තය රැකගත් සුළු පරිමාණ කිරි ගොවීන් දියුණු කිරීමේ සඳහා වන අවධානය මදකින් හෝ අඩු නොවිය යුතුව ඇත. විශේෂයෙන්ම මෙම පිරිසෙන් අති බහුතරය අඩු ආදායම් ලාභි පිරිසක් වන බැවින් රාජ්‍ය යාන්ත්‍රණයේ වැඩිම දායකත්වයක් මෙම පිරිස් වෙතයොමු කළ යුතුව ඇත.

කිරි ගවයන් ඇති කිරීම යනු විවිධ වෘත්තීන් අතරින් ඉතාමත් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක රැකියාවකි. කිරි දෙවීම, ගවගාල හා ගවයන් පිරිසිදු කිරීම, තණකොළ කැපීම ආදී කටයුතු සෑම දිනකම ඉටුකළ යුතුය. අධික වර්ෂාව,ගංවතුර,නියඟය,ජලය හිඟ වීම ආදී වූ කුමන පාරිසරික තත්ත්වයන් තිබුණද ගවගාලේ කටයුතු මඟ හැරිය නොහැක. එසේම රෝගී වීම, පවුලේ උත්සව, මරණ, විනෝද හෝ වන්දනා චාරිකා ආදී කුමන කරුණු යෙදුනද ගවගාලේ කටයුතු එක් දිනකින් හෝ මඟ හැරිය නොහැක. කිරි ගව පාලනයේ පවතින මෙම ආවේණික දුෂ්කරතා නිසාම කෙතරම් හොඳ ආදායමක් ලැබුණද ආකර්ශනිය රැකියාවක් බවට පත්ව නැත. එසේ තිබියදී කිරි සඳහා හොඳ මිලක් නොමැතිකම, තාක්‍ෂණික සේවාවල දුර්වලතා, අලෙවි කිරීම් ගැටළු අඩු සමාජ පිළිගැනීම ආදී විවිධ හේතු මත සැළකිය යුතු ආදායමක් සහිත පිරිස් ක්ෂේත්‍රයට පැමිණිමේ ප්‍රවණතාවය ඉතාමත් අල්පය. එම තත්ත්වය මත කිරි ගව පාලනය ග්‍රාමීය සහ වතු ආශ්‍රිත වරප්‍රසාද අහිමි දරිද්‍රතාවයන් පෙලෙන පිරිසකගේ කර්මාන්තයක් බවට පත්ව ඇත. නැති බැරි කමින් පීඩා විදින කොතරම් පිරිස් සිටියද ගවපාලනයට යොමුවන්නේද ඒ අතරිනුත් සුළු පිරිසක් පමණයි. සියළු දුෂ්කරතා දරාගෙන අලස බවින් තොරව උපරිම කැපවීමකින් කටයුතු කරන අතිශයින්ම ධෛර්යවන්ත පිරිසක් පමණක් කිරිගව පාලනයේ නිරත වන බව අවසාන වශයෙන් හඳුනාගත හැක.

පවතින කිරිගොවිපල

13 dairy 01සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරි ගොවිපල තුල සතුන් 1015 සිටින අවස්ථා තිබුණද බොහෝ විට නඩත්තු වනුයේ ගවයන් 1-5 අතර ප්‍රමාණයකි. එම ගොවිපල සියල්ලම මූලික ලෙසම සාම්ප්‍රදායික දැනුම මත ක්‍රියාත්මක වන අතර පෝෂණය, සතුන්ගේ සුව පහසුව, සනිපාරක්‍ෂාව, ලෙඩ රෝග වළක්වා ගැනීම, ගව නිවාස, අභිජනන කාර්යක්‍ෂමතාවය ආදී ගොවිපලේ නිෂ්පාදනයට හා ලාභදායි බවට සෘජුවම බලපාන අංශවල නව දැනුම භාවිතා කිරීමේ ප්‍රවණතාවය අඩුය. එහි ප්‍රතිඵලයක් ලෙස බහුතරයක් ගොවිපල ඉතාමත් අඩු ඵලදායිත්වයෙන් හා නිෂ්පාදන මට්ටමකින් යුක්තව ක්‍රියාත්මක වනු ලබයි. ගොවිපලවල නිෂ්පාදනය පිළිබඳ නිසි දත්ත හිඟ වුවද 2007 වර්ෂයේ මධ්‍යම පළාත තුල සිදුකළ ගොවිපල සංඝනණයේ දත්ත අධ්‍යයනයේදී මෙම තත්ත්වය හොඳින් පැහැදිලි වනු ඇත. පළාත තුල පැවති ගොවිපල 18573 ක් සංගණනයට ලක් වූ අතර ඉන් ලීටර 20කට වැඩි නිෂ්පාදනයක් පැවතියේ ගොවිපල 851කපමණි. ඉන් ගොවිපල 36ක් ලීටර 50-100 අතරත් ගොවිපල නමයක් ලීටර 100 වැඩි නිෂ්පාදනයක් තිබුණි.මෙම කිරි නිෂ්පාදනයන් 37% කට දායකත්වයක් සපයන මධ්‍යම පළාත තුල සමස්ථ ගොවිපල අතරින් 95% ක දෛනික නිෂ්පාදනය ලීටර 20ටඅඩුය. රුපියල් 100ක් වන වර්තමාන මිල අනුව මුළු කිරි ගොවිපල අතරින් 95% කටම ලැබෙනුයේ රුපියල් 2000 කට අඩු මුදලකි. ලීටර දහයට අඩු නිෂ්පාදනයක් ඇති ගොවිපලක්නම් එම මුදල රුපියල් 1000 කට අඩුය. පවතින ගොවිපල අතරින් බහුතරයක නිෂ්පාදනය ලීටර දහයට අඩු බව ප්‍රායෝගික අත්දැකීම් අනුව ස්ථිරවම සටහන් කළ හැක.
මෙම පසුබිම තුළ පූර්ණකාලීන ගවපාලනයේ නිතර පිරිස් ඉතාමත් සීමිත අතර බහුතර දෙනා එහි නිරත වනුයේ අමතර ආදායම් මාර්ගයක් ලෙසය. එම පිරිස් තම රැකියාවෙන් පසු ඉතිරි වන සීමිත කාලය කැපකර අඩු වියදමකින් සපයාගත හැකි ස්වභාවික ශාක ආහාර භාවිතා කරමින් ඉතාමත් සාම්ප්‍රදායික ලෙසම ගව පාලනයේ නිතර වනු ලබයි. ඔවුන් ඉතා ඉහළ නිෂ්පාදනයක් ඇති සතුන් නඩත්තු කිරීම, තමාගේම තෘණ වගා ස්ථාපිත කිරීම, ගව ගොවිපල පුළුල් කරගැනීම කෙරේ ඉහළ අවධානයක් යොමු කරන්නේ නැත. මේ නිසාම ග්‍රාමීය සුළු පරිමාණ ගොවිපල පුළුල් කිරීම හා නවීන තාක්‍ෂණය වෙත යොමු කිරීම අතිශයින්ම දුෂ්කරය.
මෙලෙස මෙරට කිරිගව ක්ෂේත්‍රයේ පවතින දුෂ්කර බව, ප්‍රියමනාප නොවීම, අඩු නිෂ්පාදනය, නිසි ආදායමක් නොලැබීම මෙන්ම ගව පාලනයේ නිතර පිරිස් සඳහා හොඳ සමාජ පිළිගැනීමක් නොමැති වීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් කිරිගව පාලනයේ ආකර්ශණිය කර්මාන්තයක් බවට පත්ව නැත. ඒ නිසාම එම ක්ෂේත්‍රය පහත අර්බුදයන්ට නිරතුරුවම මුහුණ දෙනු ලබයි.

  1. 13 dairy 01කිරිගව පාලනයේ නිරත පිරිස් ක්ෂේත්‍රයෙන් ඉවත්වීම.
    කිරිගොවීන්ගේ පවුලකද සැළකිය යුතු ආදායම් මාර්ගයක් ස්ථාපිතවීම කිරිගව පාලනයේ ඉවත්වීම සඳහා ප්‍රබල උත්තේජනයක් වනු ලබයි. ත්‍රී රෝද රථයක් මිල දී ගැනීම, කුමන හෝ රැකියාවක් ලැබීම, පවුලේ අයෙකු විදේශගත වීම ආදී අවස්ථා වලදී ගොවීන් ක්ෂේත්‍රයෙන් ඉවත්වනු ලබයි. විශේෂයෙන්ම දරුවන් ඉගෙනගෙන ආකර්ශනීය රැකියාවක් ලැබු පසු කිරිගව පාලනයේ ඉවත් වීම සඳහා දෙමාපියන්ට වන බලපෑම විශාල ලෙස ඉහළ යයි. කිරිගව පාලනයේ වර්තමාන තත්ත්වය මත ඒපිළිබඳව පුදුම වීම හෝ කම්පාවීම සාධාරණ නැත.
  2. කිරිගොවීන්ගේ ඊළඟ පරම්පරාව ක්‍ෂේත්‍රයට නොපැමිණීම.
    කිරිගොවීන්ගේ දරුවන් ගවපාලනයට යොමු නොවීම බොහෝ විට ගැටළුවක් ලෙස හඳුනා ගනු ලබයි. දරුවන්ට ඉගැන්වීම සඳහා අනන්ත දුක්විදින ගොවීන් තම දරුවන් ගවපාලනයට පැමිණිම ප්‍රාර්ථනා නොකරන අතර තමන්ට වඩා යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරනු ලබයි. එය ඉතාමත් ස්වභාවික අතර එම දරුවන් ගවපාලනයට යොමුකිරීමට උත්සාහ කිරීම ප්‍රායෝගික හෝ සාධාරණ නැත.
  3. තරුණ පිරිස් ක්ෂේත්‍රයට නොපැමිණීම.
    කිරිගව පාලනයේ අපේක්‍ෂිත නවීකරණ සඳහා තරුණ හා ව්‍යසායක හැකියාවන්ගෙන් යුත් පිරිස් පැමිණීම ඉතාමත් වැදගත් වුවද එය සිදුවන බවක් දැකිය නොහැක. විශේෂයෙන්ම මෙරට බහුතර තරුණ තරුණියන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ තලයක ඇති පසුබිම තුල ඔවුන් යම් පිළිගැනීමක් සහිත රැකියා බලාපොරොත්තුවනු ලබයි. මෙම තත්ත්වය සමස්ථ කෘෂිකර්ම ක්ෂේත්‍රයම මුහුණදෙන ගැටළුවක් වන අතර රට තුල රැකීරක්‍ෂා සුලබවන ආර්ථික හා කර්මාන්ත වර්ධනයත් සමඟ මෙම ගැටළුව තවත් උග්‍ර වනු ඇත.


කිරිගව පාලනයේ නිතර පිරිස් ඉවත්වීම හා තරුණ පිරිස් ආකර්ශණිය නොවීම පිළීබඳ කරුණූ කෙතරම් සත්‍යය වුවද ගව පාලනයට තවදුරටත් පිරිස් ආකර්ශණය නොවන බවක් ඉන් අදහස්වන්නේ නැත. තරුණ පිරිස් වයස අවුරුදු 35-40 වනතුරු රැකියා සොයා ගොස් නොලැබුණු බොහෝ දෙනෙකු එකතුවේ. එසේම වතුකම්කරු ඇතුළු කම්කරු මට්ටමේ රැකියාවලින් විශ්‍රාම ගන්නා සැලකිය යුතු පිරිසක් නිති පතා ක්ෂේත්‍රයට පැමිණේ.

මෙලෙස පැමිණෙන බහුතර දෙනා වෙනත් විකල්ප නොමැතිකමින් ගවපාලනයට යොමුවන බව පවතින යථාර්ථයයි. ඒනිසාම තවදුරටත් ගවපාලනයේ නිරත වනුයේ අඩු ආදායම් ලබන ව්‍යවසායක හැකියාවෙන් තොර සාම්ප්‍රදායික අදහස් සහිත පිරිසකි. මෙම තත්ත්වය හේතුවෙන් මෙරට බහුතර ගොවිපල දියුණූ සංවර්ධිත ගොවිපල බවට පරිවර්තනය කිරීම යථාර්ථවාදී නැත. මෙම තත්ත්වය මත මෙරට කිරි නිෂ්පාදනය ඉහල නැංවීමට සාම්ප්‍රදායික කිරිගොවීන් මත විශ්වාසය තැබීම ප්‍රායෝගික නොවන බවට යම් විද්වතුන් සමහර අවස්ථාවලදී මත පලකරනු දැකිය හැක.

නමුත් මෙරට සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරිගව පාලනය විවිධ අංශයන්ගෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබන අතර මෙම ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම හරහා එම ප්‍රතිලාභ තවදුරටත් පුළුල් කරගත හැකි වනු ඇත.

  1. ගොවීන්ට ආර්ථිකය ශක්තිමත් වීම :- කිරි අලෙවියෙන් ලැබෙන සුළු මුදල වුවද පවුලේ ආර්ථිකයට ඉමහත් ශක්තියකි.
  2. පවුලේ පෝෂණ තත්ත්වය ඉහලයාම :- ගොවිපලේ නිපදවන කිරි පරිභෝජනය කිරීම මෙන්ම ලැබෙන ආදායමක් වෙනත් ආහාර මිලදී ගැනීමේ ඉඩ පුළුල් වීමෙන් කිරිගොවි පවුල්වල පෝෂණය ඉහල නංවනු ලබයි.
  3. ගොවීන්ගේ දරුවන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වීම:- දරුවන්ගේ පෝෂණ මට්ටම ඉහළ යාමත් අධ්‍යාපනයට වැයකළ හැකි හැකියාව ඉහළයාමක් සිදුවන බැවින් එම දරුවන්ට හොඳ අනාගතයක් උරුම කර දීමට ප්‍රබල පිටුබලයක් වේ.
  4. කිරිගවයන් ප්‍රාග්ධන සංචිතයක් වීම:-අතීතයේ සිටම ගවයන් හඳුනාගනු ලබන්නේ පහසුවෙන් මුදල් බවට පත්කළ හැකි වත්කමක් ලෙසය. විවාහ උත්සව, කෘෂිකාර්මික කටයුතු, මරණ ආදී කුමන හෝ හදිසි මුදල් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වන ප්‍රාග්ධන සංචිතයන් ලෙස සුවිශේෂි මෙහෙයක් ඉටුකරනු ලබයි.
  5. ග්‍රාමීය ආර්ථිකයට වන ශක්තිය:- දිනකට නිපදවන කිරිවල වටිනාකම වන රුපියල් බිලියන 70ක මුදලක් වැඩිම කොටසක් සාම්ප්‍රදායික ගොවීන් හරහා ග්‍රාමීය ආර්ථිකයට ගලායනු ලබයි. උදාහරණ ලෙස දිනකට ලීටර් 1000ක් නිපදවන පශු වෛද්‍ය කොට්ඨාශයක මසකට ග්‍රාමීය ආර්ථිකයට ගලායන මුදල රුපියල් ලක්‍ෂ 30කි. (100 x 1000 x 30)
  6. දේශිය කිරි නිෂ්පාදනයට දායකත්වය :- වර්තමානය වනවිට රටතුළ නිපදවන සමස්ථ කිරි නිෂ්පාදනයෙන් වැඩිම ප්‍රතිශතයක් ලැබෙනුයේ සුළු පරිමාණ ගොවිපල තුලිනි. සුපිරි ගොවිපල ඉදිකිරීමේ අපේක්‍ෂිත ඉලක්ක ළඟා වුනද කිරි නිෂ්පාදනය අපේක්‍ෂා මල් ඵලගැන්වීමටනම් තවදුරටත් වැඩිම දායකත්වය සුළු පරිමාණ ගොවිපල තුලින් ලැබීමට සිදුවනු ඇත.
  7. වෙනත් රැකියා සුලබවීම :- කිරි එකතුකිරීම, සත්ත්ව ආහාර අලෙවිය, කිරි සැකසුම් අංශය ආදී වූ විවිධ ක්‍ෂේත්‍රයන්හි රැකියා අවස්ථා සුලබ කිරීම සඳහා කිරිගව පාලනය දායක වනු ඇත.

 

13 dairy 01සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරිගොවිපල මඟින් ඉටුවන මෙම සාධනීය දායකත්වය හඳුනාගැනීම තුළ රට තුළ පවතින සුවිශේෂි අර්බුද ගණනාවකට සාම්ප්‍රදායික ගොවිපල ප්‍රචලිත කිරීම මඟින් විසඳුම් සොයාගත හැක.

  1. දුප්පත්කම තුරන් කිරීම:-2019 මාර්තු මාසයේදී මෙරට දුප්පත්කමේ නිලරේඛාව ලෙස හඳුනාගනු ලබන 6966 කට වඩා අඩු ආදායමක් එනම් දිනකට රුපියල් 232 කට වඩා අඩු ආදායම් ලබන පිරිස් දුප්පත් ලෙස හඳුනා ගනු ලබන අතර එම පිරිස් ලක්‍ෂ 30ක් පමණ එසේම මෙරට සමෘද්ධිලාභි පවුල් ගණන ලක්‍ෂ14කි. දිනකට කිරිලීටර 6 බැගින් ලබාදෙන ගවයකු ඇතිකළ හැකිනම් මෙරට දුප්පත්කමින් බැටකන සියළුම දෙනා දරිද්‍රතා රේඛාවෙන් ඉහළට ගැනීමේ හැකියාව පවති.
  2. රටේ පෝෂණ ගැටළුව විසදීම:- රටේ දරුවන්ගේ ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකගේ වයසට නියමිත බර නැත. මෙවන් පෝෂණ ගැටළු රාශියක් රට තුළ පවතින අතර එම දරුවන්ගේ අධ්‍යාපනය සේවාස්ථානයේ ඵලදායිතාවය ඇතුළු සමස්ථ රටටම ඉතාමත් අහිතකර ලෙස බලපායි. කිරි ගවපාලනය හරහා ලැබෙන ආර්ථික ශක්තිය මෙම තත්ත්වය දුරලීම සඳහා ඉහලම පිටුවහලක් සපයනු ඇත.
  3. තාරුණ්‍යයට විකල්ප රැකියා මාර්ගයක් ලෙස :- රටේ තරුණයන්ගෙන් සැළකිය යුතු පිරිසක් ත්‍රීරෝද රථ එළවිම වැනි නිෂ්පාදනය ආර්ථිකයට දායක නොවන ක්‍ෂේත්‍රවලට පෙළඹිමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ඇත. එසේම ග්‍රාමීය තරුණ පිරිස් විශාල ලෙස ඉදිකිරීම්, හෝටල් වෙළෙඳසැල් ආදී ක්ෂේත්‍රයන්හි රැකියා සොයා නගර වෙත පැමිණිම ග්‍රාමීය කෘෂිකර්මය ඇතුළු සමස්ථ සමාජය අර්බුදකාරි තත්ත්වයකට පත්වෙමින්ඇත. කිරිගවපාලනය ලාභදායි කිරීම හරහා තරුණ පිරිස් ඒවෙත යොමුවීමෙන් මෙම ගැටළු විසදී තරුණ ජවයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකයට වැඩිදායකත්වයක් ලබාගත හැක.
  4. කාන්තාවන් සඳහා රැකියාවකි:- මෙරට ශ්‍රම හමුදාදායකත්ව අනුපාතිකය දියුණුවෙමින් පවතින රටවලට සාපේක්‍ෂව ඉතා අඩු එනම් 5409% මට්ටමක පවතී. එසේම උපරිම ශ්‍රම හමුදා දායකත්වය 76.2% පමණ වන ප්‍රහස්ත මට්ටමක පවතින විට කාන්තා ශ්‍රම හමුදාදායකත්වය 35.1 වැනි ඉතාමත් අඩු මට්ටමක පවති. මෙම තත්ත්වය තුළ රටේ ආර්ථිකය සඳහා කාන්තා දායකත්වය ඉහළ නැංවීම ඉතාමත් වැදගත්ය. ජර්සි වැනි කුඩා ප්‍රමාණයේ පහසුවෙන් නඩත්තු කළහැකි දෙනුන් එකෙකු හෝ දෙදෙනෙකු ඇති කිරීමට කාන්තාවන් පොළඹවා ගැනීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා විශාල මෙහෙයක් වනු ඇත.
    මෙරට පවුල් අතරින් 20 ක්ම පිරිමින් නැති පවුල් වන අතර එම කාන්තාවන්ට නිවස අතහැර දුර බැහැර රැකියා කිරීම දුෂ්කරය. එම පිරිස්ස`සඳහා ද ගව පාලනය ඉතා හොඳ විකල්පයක් වනු ඇත. විශේෂයෙන්ම කාන්තාවන් අතට මුදල් ගලායාම දරුවන්ගේ ක්‍ෂේත්‍රය හා අධ්‍යාපනය ඉහළ නැංවිම සඳහාද සුවිශේෂි මෙහෙවරක් ඉටුකරනු ලබයි.
  5. කෘෂිභෝග ගොවීන් අතර සත්ත්ව පාලනය ප්‍රචලිත කිරීම :- කාෂිභෝග ගොවීන් සඳහා ආදායම් ලැබෙනුයේ අස්වනු නෙලන කාලයේදී පමණි. —Seasoral Income— එම පිරිස් ගවපාලනයටද යොමුවීමෙන් දිනපතා සැලකිය යුතු ආදායමක් ලබාගතහැක. එසේම ගවයන් ප්‍රග්ධන සංචිතයක් ලෙස ක්‍රියාත්මක වන බැවින් ගොවිතැන් කටයුතු අලෙවිකිරීම සිදුකළහැක. එසේම කෘෂිකර්මයේත් ඉතිරිවන (Crop Residues) ගවයන්ට ආහාර ලෙස ලබාදීමට හැකි අතර ගවයන්ගෙන් ලැබෙන ගොම, වගාව සඳහා පොහොරක් ලෙස භාවිතා කළහැක.


මෙම සුවිශේෂි ප්‍රතිලාභ කෘෂිකර්මයේ නිරත ගොවීන් වෙත සැපයීමත් ඒ හරහා රටේ කිරි කර්මාන්තයේ ප්‍රවර්ධනය හා සත්ත්ව පාලනයේ හා කෘෂිකර්මය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතුව ඇත. එහිදී කෘෂිකර්ම සංවර්ධනයට අදාලව කටයුතු කරන ආයතන සමඟ පශු සම්පත් ක්‍ෂේත්‍රය සමීපව කටයුතු කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් නිර්මාණය කරගැනීම වැදගත්ය.

මේ දක්වා සාකච්ඡා කළ කරුණූ අනුව සුළු පරිමාණ කිරි ගවපාලනය රටේ ආර්ථික හා සමාජ සංවර්ධන ක්‍රියාවලිය තුළ සුවිශේෂි මෙහෙවරක් ඉටුකරන බව පෙනීයයි. ඒ නිසාම එම සාම්ප්‍රදායික සුළු පරිමාණ කිරි ගොවිපල ආරක්‍ෂා කිරීම හා වර්ධනය කිරීම ඉතාමත් වැදගත්ය. මහා පරිමාණ නවීන ගොවිපල නිර්මාණය කිරීමසඳහා මතුව පවතින ප්‍රවණතාවය විසින් මෙම සුළු පරිමාණ කර්මාන්ත ආරක්‍ෂා කිරීමේ හා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය වැසීයාමට ඉඩ දීම සාධාරණ නැත. එසේම දැනට බොහෝවිට දැකියහැකි ගොවිපල නවීකරණය, යාන්ත්‍රීකරණය විශාලකිරීම ආදී ප්‍රවණතාවයක් වෙනුවට සාම්ප්‍රදායික ගොවිපල තුල පවතින යථාර්ථයට ගැලපෙන සංවර්ධන සැලසුම් හඳුනාගැනීම වැදගත්ය.

13 dairy 05

උදිත බණ්ඩාර විජේසිංහ
පශු වෛද්‍ය නිළධාරි,
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව,
පේරාදෙණිය.

 

 

Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336