Story of the threshing floor

කමතේ කථාව

9 kamatha 03එදා ගැමි දිවිය වැවයි, දාගැබයි, ගමයි පන්සලයි සංකල්පය තුල සැදුම් ලද්දක් විය. ගොවිතැන, ආගම, ගැමි ජීවිත එකිනෙකට බැදුනු රන් දාමයකි. ආගම පෙරටුකරගත් කෘෂි කාර්මික වත්පිළිවෙත් ගැමි සංස්කෘතිය නිර්මාණයට ඍජු බලපෑමක් සිදුකර ඇති බව නොරහසකි. ගැමියාගේ දෛනික ජීවන ක්‍රියාවලියම ආගම, සංස්කෘතිය, සාහිත්‍ය, කාලාව, විද්‍යාව, තාක්‍ෂණය යන සියළු අංශයන්ගේ එකමුතුවකි. වත්මන් පරපුර සතු දැනුම පෙර දවසේ ගැමියන් තුල නොවූවා යැයි සිතුනද, යටකී විෂයයන් තම ජීවිතයට ප්‍රායෝගිකව සහසම්බන්ධ කරගැනීමට ගැමියා තුල තිබූ විඥානය පැසසිය යුතු වූ කරුණකි.

9 kamatha 02බෞද්ධ ආගමික වත්පිළිවෙත් පෙරටුකරගත් ගොවිතැනින් හා ඒ හා බැඳුනු ක්‍රියාකාරකමින්, සාහිත්‍ය හා කලාව යන අංශයන්හි එකතුවෙන් ශ්‍රි ලාංකීය අනන්‍යතාවය පිළිබිඹුවන ගැමි සංස්කෘතිය පෝෂණය වේ. ගොවිතැන නැමැති අත්තිවාරම මත ඉදිවන සිංහල ජන සංස්කෘතියේ වේදිකාව කමත බවට කිසිදු සැකයක් නොමැත. ජන සමාජය තුල කමත වටා සිදුවන ක්‍රියාකාරකම් ගෙවිතැනට පමණක් සීමා වී නොමැති බවට නිදසුන් බොහෝ වේ. ගොයම් කපා බැත ගෙට ගෙන අවසන කමතේ කාර්යයන් අවසන් නොවේ. ගොවියා රැස්වන පොදු ස්ථානය කමත වේ. කමතේ ඉදිවන වේදිකාවට ගොඩවන ගැම් නාට්‍යකරුවා සොකරි සඳකිඳුරු නාට්‍ය වැනි රංගනයන් ඉදිරිපත් කිරීමටත්, බක් මාසයට එළඹෙන අවුරුදු උත්සවයේ ගමේ අවුරුදු කුමරා සහ කුමරියට අභිසෙස් ලබා දීම සඳහාත් යොදාගනු ලබයි. තරුණ ජව සම්පන්න බව උරගා බැලෙන ක්‍රීඩා පිටියක් වන්නේද කමත හා වෙල් යාය වේ. එපමණක් නොව කොහොඹයක් කංකාරිය බලිතොවිල් ශාන්තිකර්ම ආදි ශාන්තිකර්ම සඳහාද කමත මූලික කරගනු ලබයි.


මේසා වූ විවිධ ගැමි ක්‍රියාකාරකම් සදහා තෝතැන්න වන කමත වී ගොවිතැනේදි භාවිතාවන ආකාරය ඉතා සෞන්දර්යාත්මකය. වත් පිළිවෙත්විලින් සුසැදි ක්‍රියාකාරකම් ගොන්නක් සිදුකරමින් ගැමියා අස්වනු නෙළීමට කමත සූදානම් කරනු ලබයි.
ගමේ තරුණ පිරිසට බුලතින් ආරාධනා කරන ගොවියා සුදුසු නැකතක් බලා තමන්ට වාසනාව ගෙන ඒ යැයි විශ්වාස කරුණු ලබන තම දරුවා හෝ මුණුපුරා මිණිපිරිය අතින් පළමු උදලු පහර ගස්සමින් කමත සුද්ද පවිත්‍ර කරනු ලබයි.
9 kamatha 03ඉන් පසු ගැමි කාන්තාව හා ළමුන් විසින් ගම්මානයේ නිවසක් පාසා ගොස් හරකුන්ගේ ගොම එකතු කරගෙන එනු ලබන අතර, කමතේ පසෙක ගොඩ ගසනු ලබයි. අසල්වාසී තරුණ තරුණියන් එක්ව කමතේ තැනින් තැන සම ප්‍රමාණයෙන් ගොම ගොඩවල් ස්ථාන ගත කරනු ලබන අතර ඒවාට ජලය වත් කරන අතරතුර අයෙක් ඉදල් බෝලත්ත උපයෝගි කරගනිමින් ගොම දියකර මත ගාමින් කමත ගොම පිරියම් කරනු ලබයි. මේ හැම සාමාජිකයෙක් සඳහාම ගැමි ගෙදර බත සරිවනවා පමණක් නොව තේ වෙලාවට හැදෙන හැලප, අග්ගලා, වැලිතලප ආදී රසකැවිළි ඔවුන්ගේ සතුට වඩවන්නේය. මුදල් මත ගනුදෙණු නොවන එම කාර්යය සඳහා එය දීමනා වැනිය.
මේවැනි කාර්යයන් වෙහෙසකර වුවත් එම අවස්ථාව සියළු දෙනාගේ එකමුතු බවින් කෙළි කවටකමින් හා සීපදයෙන් රස මසවුලෙන් පරිපූර්ණ වන හෙයින් වෙහෙසකර බව පීඩාව තුරන් වී විනෝදකාමි විනෝදාංශයක් බවට පත්වනේය.

ගොම පිරියම් කළ කමත වේලුණු පසු අළු වැඩීම චාරිත්‍රය සිදුකරනු ලබයි. ගෙයි ලිපෙන් ඉවත්වන අළු දින ගණනාවක් පුරාවට සුරක්‍ෂිතව තබාගෙන සියුම් අළු පමණක් වෙන්කර ගනිමින් අළු වැඩීමට අළු සකස්කර ගනියි. මින් ස්වල්පයක් ගෙන නව අරහාදි බුදු ගුණයෙන් එකසිය අටවර මතුරන ගැමි ගෙදෙර උපාසක අම්මා අතින් අළු වැඩීමේ කාර්යය සිදුකරනු ලබයි. ගැමි නිවසේ ඇති හක් ගෙඩිය පිරිසිදු ජලයෙන් සෝදා ගන්නා අතර, තොලබෝ, හීරැස්ස, කරඳ, නුග, දොඹ, ඉඟිනි වැනි ඖෂධ වලින් සමන්විත දරණුවක් සකස් කරනු ලබයි. තොලබෝ කොළය මත අනෙකුත් ඖෂධයයන් තබා දෙපසට අඹරමින් වළල්ලක් ආකාරයෙන් සකස් කර සාදන දරණුවත්, යකඩයක් හක්ගෙඩියත් කමතේ හරිමැද තැන්පත් කරනු ලබයි.

9 kamatha 02කළින් සකස් කරන ලද අළු කොළපතකට ගෙන අග කෙළවර සිහින් වනසේ දෑතින් සකස් කර රවුමක් සිටින සේ අළුවලින් තැන්පත් කරන ලද ඖෂධ, දරණුව වටා අඳිනු ලබයි. ඇතැම් විටෙක රවුම වෙනුවට අටමඟල නැමැති සිංහල සකේතය ද යොදා ගනු ලබයි. ඉන් පසු සිව් දෙසට විහිදෙන බෝකොළ හතර මෙත්තා කරුණා මුදිතා උපේක්‍ෂාව පිළිබිඹු කරන අතර කමත් සීමාව රවුමකින් සළකුණු කරනු ලබයි. මේ සෑම දෙයකින්ම සංකේතවත් වන්නේ සශ්‍රීකත්වය හා නීරෝගි සම්පන්න බවයි.
මෙසේ සකස්කරන කමත පූජනීයත්වයට පත්වන අතර කිල්ලට හසුවීමට ඉඩ නොතබයි. රාත්‍රියට ආලෝකමත්ව තැබීමට පන්දම් යොදා ගනියි. පහන්වන තුරු කමත තනි නොකරයි. කමත වටා එක් රැස්වන ගැමියා නිදහසේ සුහද සාකච්ඡාවේ නිරත වෙති. මේ හරහා ගොඩ නැගෙන සාමූහිකත්වය සියළු කාර්යයන්හිදි මනා අත්වැළක් වන්නේය. එය ගැම් ජීවන පැවැත්මේ මා හැඟි උසස් ලක්ෂණයකි.

9 kamatha 03සුදු රෙදි කඩක තබන ලද බුලත් හුරුල්ලකින් ගෙහිමියා අතින් ගොයම් කයියට ආරාධනා ලබන ගම්මුන් වෙලට බසින්නෙ ගුණයහපත් යැයි සළකනු ලබන හෝ තමන්ට වාසනාව ගෙන එන්නේ යැයි විශ්වාස කරනු ලබන කෙනෙකු අතින් පළමු ගොයම් හුරුල්ල කැපීමෙන් පසුවය. මෙය උක්පිඩ යනුවෙන් හදුන්වනු ලබයි. පළමු උක්පිඩ කමත වෙත ගෙන එන අතර, කමත වටා තෙවරක් පැදකුණු කර කමත මධ්‍යයේ තැන්පත් කරනු ලබයි. ඉන් පසු අනෙක් ගොයම් මිටි කමත වෙත ගෙන එන අතර, එය කිහිපදෙනෙක් විසින් ක්‍රමානූකූලව ගොඩගසනු ලබයි. ගොයම් කයිය සිංහල ගැමි සමාජයේ මංගල අවස්ථාවකි.

හරකා බාන යොදා ගනිමින් කොළ මඩින අතර පිඳුරු හා බැත උකුණු ගස් ආධාරයෙන් වෙන් කරනු ලබයි. බැත හුලං කිරීමත් සාමූහිකව කරනු ලබන අතර සියළු කාර්යයන්හි දී ආගමික වත් පිළිවෙත් මුල්තැනක් ගැනීම හා ජන ගීය, සී පදය, අඬහැරය තුළින් තම වෙහෙස මහන්සිය දුරුකරගනු ලබයි.

මෙම කාර්යයන් හි ඇති විද්‍යාත්මක පදනම කුමක් වුවද කමත තුලින් ගොඩ නැගෙන ගැමි සමාජ සංස්කෘතිය මානව සංහතියේ යහ පැවැත්මට බෙහෙවින් උපකාරී වන බව නම් සැබෑවකි. වත්මන් සමාජය මුහුණ පා ඇති විවිධ සමාජ ගැටළුවලට විද්‍යාවෙන් පිළිතුරු සපයා ගැනීමට සමත් වී ඇතිද යන්න විවාදාත්මකය. මානව සම්පත් කළමනාකරණය, ආතති කළමනාකරණය, සාහිත්‍ය රසාස්වාදය, කමත හරහා ගොඩ නැගුණ ජීවිකාව තුල මනාව තිබූ බව නම් නිසැකය. කමතෙන් ඈත්වුනු නූතන මානවයා දස දහස් දෙනා අතරේ හුදකලා වී ඇත. අතීතය වත්මනට ගෙන ආ නොහැකි වුවද, අතීතය දෙස බැලීමම මානසික සතුටට හේතුවන්නක් බැවින් වත්මනේ සිට මොහොතක් ආපසු හැරී බැලීමි.

 

ධම්මිකා ජයසේන
සංවර්ධන නිලධාරී,
සංචාරක දෙපාර්තමේන්තුව.
මධ්‍යම පළාත.

Related Articles

රාජ්‍ය තොරතුරු මධ්‍යස්ථානය (GIC)

Visit Government Information Center - Sri Lanka

අප අමතන්න

Reach us තැ.පෙ. 65
ගැටඹේ, පේරාදෙණිය
ශ්‍රී ලංකාව
+94 812 388336